Sunday, November 19, 2017

ලංකා ඊ නිව්ස් -2017.නොවැ.18, ප.ව‍‍‍‍.2.15) ජනාධිපතිවරයා ගේ ජනමාධ්‍ය මර්දනය පිලිබඳ ප්‍රකට මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අකෘතඥකමේ සීමාවක් තිබිය යුතු යැයි පවසයි. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.  

පෝද්දල ජයන්ත
[email protected]
12 - 11- 2017
ශ්‍රී ලංකා ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ
ශ්‍රී ලංකාව
මහත්මයාණෙනි.,

අකෘතඥභාවයේද සීමාවක් තිබිය යුතුය.

මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලන සමයේ එහි නිත්‍ය කොටස් කරුවෙකුව සිට ඔබ ඉන් පිටතට පැමිණියේ, එහි වූ දුර්දාන්ත පාලනය, මනුෂ්‍ය ඝාතන, පැහැරගෙන යෑම්, මහා පරිමාණ වංචා දූෂණ, ජනමාධ්‍ය මර්දනය ඇතුළු දහසකුත් එකක් අපරාධ ඉවසා දරා සිටීමට නොහැකිම තැන යයි පළමු ජනමාධ්‍ය හමුවේදීම රටට කියා සිටියේ ය.
රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලනයට එරෙහිව සටනට පිවිසෙමින් රටේ ජනතාවට අහිමිකර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී සියලු අයිතීන් වහාම ස්ථාපිත කරන බවටද ඔබ සහතික විය.
රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීමට නම් එහි ජනමාධ්‍ය නිදහස සුරැකිව තිබිය යුතු බවත්, පසුගිය සමයේ ජනමාධ්‍ය වේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට සිදුකළ අපරාධ ගැන වහා පරීක්ෂා කොට අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන බවටද ඔබ නොයෙක් තන්හි ප්‍රතිඥා දුන්නේ ය.
ඔබගේ ප්‍රතිඥා විශ්වාසයට ගත් සිවිල් සංවිධාන, සමාජා ජාල ජනමාධ්‍ය, යුක්ති ගරුක මිනිසුන් දස දහස් ගණනින් ඔබ වෙත රොක් වූහ. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනුව, එකී පිරිස හැට දෙලක්ෂයක් පමණ විය. මේ පිරිස ඔබ වෙත රොක් වූයේ, ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වූ නිසාවෙන් හෝ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සිගරැට් පැකැට්ටුවේ සියයට අසූවක රූපමය අවවාද දක්වන්නැයි කළ යෝජනාව නිසා හෝ නොව, මහින්ද රාජපක්ෂ දුර්දාන්ත පාලනය රටෙන් ඉවත් කිරීමට පොදු නායකයෙකු අවශ්‍ය වූ නිසා ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි,
ඔබ ජනාධිපති ධූරයට පත්ව දැන් තුන් අවුරුද්දකට ආසන්න වෙමින් තිබුනද, ඉහත අපරාධ එකක් දෙකක් හැර අන් ඒවා පිළිබඳ හරි හමන් සොයා බැලීමක් හෝ සිදුකර නැත. සිදුවූ අපරාධ ඔහේ වැළලෙන්නට ඉඩ හැර තිබෙනවා පමණක් නොව, එකී අපරාධ වල මූලාරම්භයට සමාන වෙඩි මුර ඔබේ නායකත්වයෙන්ම පත්තු වෙන්නට දැන් දැන් පටන් ගෙන තිබේ.
මේ විවෘත ලිපිය ඔබ වෙත යොමු කරන්නේ ඒ සම්බන්ධයෙන් මතක් කර දීමට ය. ලිපිය ලිවීමේ හදිසි අවශ්‍යතාවය මතු වූයේ නොබෝදා ඔබේ ඍජු නියෝගයෙන් (ඔබ ඍජු නියෝගයක් දුන් බව එක්තරා ඇමැතිවරයෙකු සමග ඔබ පවසා තිබූ බව මම දනිමි) ‘ලංකා ඊ නිව්ස්‘ වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට අදාලව ය. මේ පළමු මර්දනය ‘ලංකා ඊ නිව්ස්‘ වලට පමණක් සීමා නොවන වග අප අත් දැකීමෙන් දන්නා නිසා ය.

ජනමාධ්‍ය මර්දනය විකිණීම

ඔබ ජනාධිපති පුටුවේ හිඳ ගැනීම පිණිස රටතුළ සිදුවූ අනෙකුත් අපරාධ මෙන්ම ජනමාධ්‍යයට වූ අපරාධ ද විකුණනු ලැබීය. ජනමාධ්‍යයට වූ අපරාධ විකුණනු ලබන විට මේ ලියුම්කරු ඇතුළු අපරාධ වලට ගොදුරු වූ අනෙකුත් මාධ්‍යවේදීන් ද විකුණනු ලැබීය. එම විකිණීම සිදුකරන්නේ රටේ වැළලී ගිය ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමට නොවේදැයි සිතා අපි නිහඬව සිටියෙමු. විකිණීම සිදුකෙළේ කෙසේද යන්න පැහැදිලි කරනවා නම්, ඔබේ ජනාධිපතිවරණ වේදිකාවක්, වේදිකාවක්, පාසා රාජපක්ෂලාගේ මාධ්‍ය මර්දනය ගැන බෙරිහන් දෙමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර් හා මා පැහැර ගැනීමට ලක් කිරීම, වධ හිංසා වලට ලක්කිරීම, උපාලි තෙන්නකෝන්ට එල්ල කළ ප්‍රහාරය සහ ඊ නිව්ස් ඇතුළු මාධ්‍ය ආයතන ගිනි බත් කිරීම්, බෝම්බ ගැසීම් ද ගෙන හැර පෑවෝය. 
එපමණක් නොව, ජනාධිපතිවරණයේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් රූපවාහිනී සංවාද වලට එක් වූ පිරිස් රාජපක්ෂලාගේ මාධ්‍ය මර්දනය මන්තරයක් වෙන් ජප කෙළෝය. එපමණක් ද නොව, ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් පළ කළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරක දැන්වීම් වල මේ ලියුම්කරුගේ ඇතුළු මර්දනයට වධ හිංසා වලට, පැහැර ගැනීම් වලට ලක් වූ බොහෝ ජනමාධ්‍ය වේදීන්ගේ ඡායාරූප සහිතව අදාල සිද්ධි පළ කෙළේය. ඔබගේ ජනාධිපතිවරණ ප්‍රචාරණයට අප රිසි සේ විකිණූ බව පෙර සඳහන් කෙළේ මේ නිසාවෙනි. හුදෙක් මේ ලිපිය ඔබ වෙත යොමු කරන්නේ ද එකී විකිණීමට භාජනය වූ පුද්ගලයෙක් වශයෙනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි,

අකෘතඥ කමක මහත

ඔබේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදී සිය දහස් වාරයක් පට්ට ගැසූ නාමයක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කළ නඩුව සම්බන්ධව ජනාධිපති ධූරයට පත්ව වසරක් ඉකුත් වීමට පෙර ඔබ ප්‍රසිද්ධියේ කියා සිටියේ කුමක්ද?
“කවුරුත් දන්නා නඩුව, මාස අටක් තිස්සේ රණවිරුවෝ හිරකරගෙන ඉන්නවා“ යනුවෙනි. ඔබ බොහෝ වේදනාවට පත්ව සිටියේ සැකකාර හමුදා නිලධාරීන්ගේ බිරින්දෑ වරුන්ගේ කඳුළු ගැන පමණය. වසර 7 ක් තිස්සේ ප්‍රගීත්ගේ ඡායාරූපය ලය මත තබාගෙන දරු දෙදෙනා සමග කහ රෙදි පොරවා ගත් නරුමයන්ගේ කුණුහරුප ද අසමින් උසාවියක් උසාවියක් ගානේ ඇවිද යන සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ සහ දරුවන් දෙදෙනාගේ කඳුළු ඔබට අමතක විය. 
ඔබේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඔවුන්ගේ කඳුළු විකුණාගෙන ජනාධිපතිධූරයට පත්ව, ඔවුනට පස්ස හැරවීම තරම් තවත් අකෘතඥකමක් මෙලොව තිබේද?

සමාජ ජාල ජනමාධ්‍යයට ගැරහීම

මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය අදත් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ තමන්ගේ පරාජයට සමාජ ජාල ජනමාධ්‍ය බෙහෙවින් බලපෑම් කළ බවයි. ඔබේ ජයග්‍රහණයට සුවිශාල උරදීමක් කළ එකී ජනමාධ්‍ය අද ඔබගේ වෛරයට පාත්‍ර වී තිබේ. ඔබ හැම විටම මේ ජනමාධ්‍ය ගැරහීමට ලක් කරන අතර වරෙක ප්‍රකාශ කෙළේ “මගේ ගෙදර අයටත් මම කියලා තියෙන්නේ ඔය එක එක වෙබ් සයිට් බලන්න එපා කියලයි“ යනුවෙනි.
මේ අකෘතඥකම හැර අන් කවරක් ද ?
රටේ සහ ඉන් පිටත සිට ක්‍රියාත්මක ජනමාධ්‍ය සියල්ල ඇත්ත සහ නිවැරදිම දේ ප්‍රකාශයට පත් කරනවා යයි මේ ලියුම්කරු කිසිසේත්ම පිළි ගන්නේ නැත. නමුත් සියයට සියයක් බොරු කියනවා කියා පිළිගන්නේ ද නැත‍. තමන්ට එරෙහිව වැරදි පුවතක් පළවූවා නම්, ඒ පිලිබඳ නිවැරදි කිරීමක් එවීම යුතු කමකි. එකී නිවැරදි කිරීම පල නොකරන්නේ නම්, ඊට එරෙහිව රටේ පවතින සිවිල් නීතිය යටතේ අපහාස නඩු පැවරීමේ හැකියාව තිබේ. එසේ නොකොට අදාල මාධ්‍ය අවහිර කිරීම, තහනම් කිරීම මුළුමනින්ම ජනමාධ්‍ය මර්දනයකි. තමන්ගේ වරද වසා ගැනීමට කරන නිර්ලජ්ජිත උත්සාහයකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි.,

යලි යලිත් පෙන්වන අකෘතඥකම

ඔබ ජනාධිපති පදවියේ දිව්රුම් දුන් අවස්ථාවෙහි රටට කියා සිටියේ කුමක්ද? විධායක ජනාධිපති ධූරය වහා අහෝසි කරන බවයි. ඔබ ජනාධිපති කරවීමට ජීවිතට පරදුවට තබා ක්‍රියා කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙණ ඉදිරියේ දී ද ශපථ කෙළේ විධායක ජනාධිපති ධූරය අවසන් කරන බවයි. නමුත් දැන් තත්ත්වය කෙබඳු ද? ඔබේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවට විධායක ජනාධිපති ධූරය තබා ගත යුතු යැයි යෝජනා ඉදිරිපත් කෙළේ ඔබේ අනුදැනුම මත නොවේද? මේ පැනය ඔබගෙන් ඇසූ විට ඔබ අදාල ජනමාධ්‍යයට තහංචි දමන්නට ලක ලැහැස්ති වන්නේ නම්, ඔබට ඡන්දය දුන් ලක්ෂ 62 ක් ජනතාව නිහඬව සිටිනු ඇතැයි ඔබ සිතනවා නම් එය මුලාවකි.
අද ඔබට අමතකව තිබුණ ද ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද හැට දෙලක්ෂයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද ලක්ෂ 10 ක් වත් නොතිබූ බව තිත්ත ඇත්තයි. එක්සත් ජාතික පක්ෂයට කවර තත්ත්වයක් යටතේ වුවද ලක්ෂ 45 ක් පමණ ස්ථිර ඡන්ද පදනමක් රට තුළ පවතී. ජනාධිපතිවරණයේ දී ද්‍රවිඩ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය සෙසු දේශපාලන පක්ෂ වල ඡන්ද එකතුව ගණනය කළ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුනු කෙං ගෙඩියක් නැති තරම් ය. එහෙත් අද ඔබගේ කතා විලාසයත්, ජනවාරි 07 වැනිදාත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බෑඟිරි ගා අද අමාත්‍ය තනතුරු ලබා ගත් පිරිසගේ කතා විලාසයෙනුත් පෙන්නුම් කරන්නේ ඔබ ලැබූ ඡන්ද හැට දෙලක්ෂයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද හැටියට ය. අකෘතඥතාවයක මහත යැයි මා යළි යළිත් කියා සිටින්නේ ඒ නිසාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි.,

ඊ නිව්ස් තහනම සහ යුද නැව

රුසියාවෙන් මිල දී ගැනීමට වළිකනවා යැයි කියන යුද නැව පිලිබඳ ඊ නිව්ස් ප්‍රවෘත්තිය අසත්‍ය නම් එය වහා නිවැරදි කිරීමට ඊමේලයක් එවීම එතරම් ලොකු වැඩක් නොවේ. ඔබගේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස විජේදාසගේ පුත්‍රයා තබාගෙන ඉන්නේ මෙවැනි දේට පිළිතුරු දීමට නොවේ නම් ඔහුගෙන් කෝපි හදා ගෙන බොන්නද? අඩුම වශයෙන් එවැනි නිවැරදි කිරීමක් හෝ නොඑවා, මෙවැනි ගැටළු පිළිබඳව වේදිකාවේ පිළිතුරු දෙනවා සේ ඊට නිසි පිළිතුරක් නොදී අදාල වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ තහනම් කිරීම තුළින්ම එකී ප්‍රවෘත්තියේ සත්‍යයක් ඇතැයි සිතීමට අප පොළඹවා ඇත. ලංකාවේ සිදුවූ බැඳුම්කර ගණුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අධික ලාභයක් උපයා ගෙන තිබේ නම්, එය දූෂනයක් යයි ඔබ කියන්නේ නම් නාවික හමුදාව එපා කියද්දීත් රුසියාවෙන් නුසුදුසු යුද නැවක් අධික මිලකට මිලදී ගැනීමට යාමත්, දියණිය ගේ දැන්වීම් සමාගමට ලැබෙන රාජ්‍ය අනුග්‍රාහකත්වය ගැනත් සොයා බැලිය යුතු නොවේද?
ඉහත සිද්ධි ගැන ප්‍රවෘත්ති පල වීම, තම ජනමාධ්‍ය වාරණයට ලක් කර ගැනීමකැයි අනෙකුත් ජනමාධ්‍ය ආයතන දැන් ‘කල්පනා‘ කරනු ඇත. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ආවාට සැබෑ ලෙසම තොරතුරු දැන ගැනීමට එරෙහි වැට බැඳෙන්නේ ඉහත ‘කල්පනාවන්‘ හෙවත් ‘ස්වයං වාරණය‘ තුලය. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණෙනි.,

වාරණයේ දී ඔබ රාජපක්ෂලාටත් වඩා දරුණුය

ඔබ සමගවත් ඔබගේ දියණිය ව්‍යාපාර ගැනවත් අපට පෞද්ගලික ආරෝවක් නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ සමගවත් ගෝඨාභය රාජපක්ෂ සමගවත් අපිට කිසිදු පෞද්ගලික ආරෝවක් නොපැවතුනි. අපට තිබුනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමත් බදු ගෙවන ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියට අවහිර  නොකිරීමත් පමණි. 
ජනමාධ්‍ය යනු හතරවැනි රාජ්‍යයයි. ඒ විධායකයේත්, ව්‍යවස්ථාදායකයේත්, අධිකරණයේත් සිදුවන අකටයුතු කම් රටේ මහජනතාවට දැනුම් දීමට තිබෙන එකම මග ජනමාධ්‍ය වන බැවිනි. ඊට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ තිබිය යුතුය. අපට තිබෙන ගැටළුව නම් මහින්ද රාජපක්ෂලාගේ දුර්දාන්ත පාලන කාලයේ තිබූ ජනමාධ්‍ය මර්දනය නවතා රටේ සමස්ත ජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්ථාපිත කිරීමට පැමිණි ඔබ වසර දෙක ඉක්ම යනවාත් සමග මර්දනයේ මුගුර අතට ගැනීමේ ගැටළුවයි. එයද මහින්ද රාජපක්ෂ කළාටත් වඩා දරුණු ලෙසය. රාජපක්ෂ වෙබ් අඩවි වාරණය කෙළේ අධිකරණ නියෝගයක් ලබාගෙන වුවද අද ඔබ ලංකා ඊ නිව්ස් වාරණය කර ඇත්තේ කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිවය. දැන ගන්නට ඇති අන්දමට රාජපක්ෂලා වෙබ් වාරණය කෙළේ නමින් පමණි. අයි.පී අංකයන්ගෙන් පිවිසීමට හැකියාව තිබිණ. අද ඔබ වාරණය කර ඇත්තේ අයිපී අංකයද වාරණය කරමිනි. තමන්ට විරුද්ධ වූවන්  රාජපක්ෂලා සුදුවෑන් වලින් පැහැර ගෙන  වගකීමක් බාර නොගත්තා සේ මේ වාරණය ගැනද කිසිවෙකු වගකීමක් ගන්නේ ද නැත. එබැවින් මේ සිදුවීම රටේ ජනමාධ්‍ය නිදහසෙහි ලා බරපතල ය.
ස්වාධීන ජනමාධ්‍ය නියාමනයක් රටතුළ ස්ථාපිත කොට ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවාට යහතින් දිවි ගෙවීමට ඉඩ දෙන මෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිමි
ස්තූතියි
මෙයට
විශ්වාසී

පෝද්දල ජයන්ත 

හිටපු ලේකම් - වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

6 comments:

  1. පොද්දල් ජයන්ත රට පණ බේරාගත්තේ රටින් පැනය. නැත්තම් මෙටික ලියන්නත් රාජපක්ෂ ඔහු ඉතුරු කරන්නේ නැත. නැත්තම් ඔහුටත් රසායනික වායු උණුසුම ලබන්නට තිබුණි. මිනිසුන්ට අතීතය ඉකමනින් අමතක වීම ලෙඩක්ද ?
    විචාරක දියණිය

    ReplyDelete
  2. නිල හැම එකකටම වගේ එක පාර බෙහෙත් කරලා තියෙනවා වගේ ........ පේන්නේ

    ReplyDelete

  3. යුද නැව් ගැන කතා කලොත් X -MEN ල MIB ල ඔක්කොම එයි. අලුත්ම ට්‍රෙන්ඩ් එක. හේ හේ ඔය වාරණ කරන්න කරන්න කෙලවීමේ සම්භාවිතාව වැඩි වෙන එකනේ වෙන්නේ. කොහෙද ඕන එහෙකුට මොලේ එන්නේ කෙළ වුනාට පස්සෙනේ.

    ReplyDelete