Thursday, March 30, 2017

රාජිතට සන්නස්ගලක් ගහමු



රැවුම්-ගෙරවුම්, ඇණුම්-බැණුම් සහ තර්ජන-වර්ජන මැද්දේ නෙළුම්යාය සම්මාන උලෙළත් සමාප්ත වුණා. ඒකේ කටු ටිකක් තවමත් හප හපා ඉන්න ඉතුරු වෙලා. ඒවයිනුත් හොඳම එක තමයි රාජිත සේනාරත්න සම්මාන උළෙලට ගෙන්වීම සහ නිවේදිකාව ඔහුව 'නූතන සේනක බිබිලේ' ලෙස හැඳින්වීම. කටුව තාම සූප්පු කරන අයට සන්නස්ගල වීරයෙක් වෙලා. 

මට නම් සන්නස්ගලව මතක තමන්ගෙ සිංහල ටියුෂන් පන්තියට වාසිකරගන්න සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්ණ පත්‍රය පැන්නීම සමඟ තියෙන චෝදනාවයි සබරගමුව මහ ඇමති කමට එජාපයෙන් නම් කලාම රාජපක්ෂගෙ තර්ජනයකට බයවෙලා 'භාරගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ' කියල අපබ්‍රංශයක් සිංහල වහරට එක් කරපු කෙනෙක් හැටිය තමයි. ඊට පස්සෙ  කාළෙක පොඩි කාලෙ කැලේට මළපහ කරන්න ගිහිල්ල හෝදගන්නේ නැතුව ආපු කථාවක් දාල තමන් ගැනම පොතක් ලියාගෙන පිළිගැනීමක් හොයපු කෙනෙක් විදිහට තමයි. තවත් ඉතින් බ්ලොග් ලෝකේ කීප දෙනෙක්ම රාජිත සේනාරත්න පහත් මිනිහෙක්ය ඒක නිසා සිතෙන් වත් පව් නොකරන තමන් වගේ උසස් කට්ටියකට සම්මාන දෙන්න  සුදුසු නැති කෙනෙක්ය කියන්න උත්සාහ කරනව. ඒගොල්ලන්ට කොහොමත් බෙහෙත් නැති එකේ ඒ ගැන කරදර වෙලා වැඩක් නැහැ. 

මම ගරු කරන තරුණ බ්ලොග් කාරිණියක් එයාට සම්මානයක් තියෙනවනම් රාජිත හැර වෙන කෙනෙක්ගෙන් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරල තිබුණ කියල මට කවුරුහරි කිව්ව. තවත් මේ බ්ලොග්කාරිණිය වගේ එහෙම හිතන අය ඉන්න පුළුවන් නිසා ඒ ගැන යමක් කියන්න හිතුණ. 

පළමුවෙන්ම කියන්නෙ මම කවදාවත් රාජිත සේනාරත්නට ඡන්දය දී නැති බවයි. මම ඔහුව පෞද්ගලික හඳුනන්නෙ වත් නැහැ. කවදාවත් හමුවී වත් නැහැ. සමහරක් ඔහුට කරන චෝදනාවක් තමයි ඔහු 'ප්‍රා' නම් ඝාතක කණ්ඩායමක් ජ්.වි.පෙ කැරළිකරුවන්ව ඝාතනය කරන්න මෙහෙයෙව්ව කියන එක. මම හිතන්නෙ මේක කට කථාවක් පමණයි. 88/89 භීෂණය ගැන පහුගිය අවුරුදු 25 තුල ලියවිච්ච විවිධ පුවත්පත් ලිපි වල එහෙම දෙයක් සැකයකින් තොරව කියන්න  පුළුවන් කිසිම සාක්කියක් මම නම් දැකල නැහැ. ඒ කථාව ඇත්ත කියල මොහොතකට උපකල්පනය කළොත් මෙහෙම හිතන්නත් පුළුවන් නේද? 'ප්‍රා' සහ 'කහ බළල්ලු' වැනි කණ්ඩායම් ඝාතනය කළේ අහිංසක මිනිස්සුද?  ඉල්ලා අස් නොවූ රජයේ සේවකයන්, කලා කරුවන්, භික්ෂූන් වහන්සේලා, පක්ෂ දෙකක දේශපාලනය කළ අය, අහිංසක මිනිසුන් කෘර ලෙස ඝාතනය කල මිනීමරුවන් කල්ලියක් තමයි ඔවුන් ඝාතනය කළේ.  ඒකාලේ භීෂණයට කෙලින්ම මුහුණ දීමට සිදුවුණ කෙනෙක් හැටියට එවන් දේකට ඔහු සම්බන්ධ වුණා නම් හෝ නායකත්වයක් දුන්නනම් මට නම් ඔහු වීරයෙක්. 

බොහොමයක් තරුණ අයට ඒකාලේ තිබ්බ භීෂණය ගැන මතකයක් නැහැ. බස් පුච්චමින්, බස් ධාවනය තහනම් කරමින්, ට්‍රාන්ෆොර්මර් පුපුරවා හරිමින් සතියකට දින දෙක තුන තුණ්ඩු කෑලි හරහා කඩ වසා දමමින්, ඒ කාලයේ ප්‍රභාකරන් වත් නොකල පාසැල් වසා දැමීම කරමින් අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ගෙන ගිය ක්‍රියා කලාපය යම් විදිහකින් අවසාන නොවූවානම් අද ලංකාව සෝමාලියාවටත් වඩා දරුණු තත්ත්වයක පත්වී තිබෙන්නෙ ඉඩ තිබුණා. එජාපය හැරුණු කොට ජේවීපී භීෂණයට ලක්වූ අනික් පක්ෂය විජය කුමාරණතුංග සහ ඔසී අබේගුණසේකර සම්බන්ධ වූ පක්ෂය. එහි ඉදිරි පෙල සාමාජිකයෙක් ලෙස රාජිත ඔවුන්ගේ ආරක්ෂාව පතා භීෂණය ජවිපෙ එළිපත්තට ගෙනගියා නම් එය අසාධාරණ දෙයක් විය නොහැකියි. නීතියෙන් පිට ක්‍රියා කරන ත්‍රස්තවාදීන් මර්ධනයට නීතියේ රාමුවෙන් පිට ක්‍රියා කරන සංවිධාන යොදා ගැනීම හැම තැනම වෙන දෙයක්. එකවර පතුරම් විශාල ප්‍රමාණයක් ස්වංක්‍රීයව පිටකල හැකි T56 අවි ආදියෙන් සන්නද්ධව මිනී මැරූ අය උණ්ඩයට උණ්ඩයෙන් පිළිතුරු දෙන විට අඬන්න අයිතියක් තියෙනවද? ඔබේ පිළිතුර ඔව්ද? එහෙනම් ඔබ උතුරේ ත්‍රස්තවාදය පරාජය කිරීමත් අනුමත නොකරන කෙනෙක් වෙන්න ඕන. ඒ ජාතිය හෝ කථාකරන භාෂාව අනුව ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙණු කරන ආකාරය වෙනස් වන්නේ නැති නිසා.

රාජිත සේනාරත්නගේ වැරදි නැතුවා නෙවෙයි. SLFP ඡන්ද වලින් පත්වී චන්ද්‍රිකා ආණ්ඩුව හැර එජාපයට ඒමත් එජාප ඡන්ද වලින් පත්වී මොකද්ද එක ශක්තිමත් කරන්න ආණ්ඩු පක්ෂයට යාමත් මම අනුමත කරන්නේ නැහැ. ඒවගේම සමෘද්ධි ඉතිරිකිරීම් වල බිලිය 80 ක් තම ග්‍රහණයට ගන්න බැසිල් ගෙනා දිවිනැගුම පණතට විරුද්ධවූ ශිරාණි බණ්ඩාරණායක ගෙදර අරින්න වීරවංශ වැන්නවුන් සමඟ එක රැයින් නඩු ඇසූ කැකිල්ලේ නඩුවට කෙළින්ම සම්බන්ධ වීමත් සරත් ෆොන්සේකාට විරුද්ධව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී ගෙන ගිය බොරු ප්‍රචාරත් සලකන විට ඔහු අපතයෙක්.

ඔහුගේ වීරත්වය මම දෙවතාවක් දැක තිබෙනවා. ඔබ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට කැමති කෙනෙක් නම් මේ කරුණ පොඩ්ඩක් මධ්‍යස්ථව සිතා බලන්න. 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයාට ඔහු යුද්ධය වෙනුවෙන් සහ රට වෙනුවෙන් කල සේවය පසෙකලා අත් අඩංගුවට ගත් ආකාරයත් ඔහුව සිට ගත කල ආකාරයක් දැන දැනම ඉතා බලගතු ජනාධිපතිවරයෙකුට එරෙහිව සංවිධානය නොවූ විපක්ෂයකට පැමිණීමට ඔහු ගත් අවදානම ගැනීමට ඔබට ආත්ම ශක්තියක් සහ නිර්භීත බවක් තිබෙනවාද? ඔබ අයත් පක්ෂය මොහොතකට හිතෙන් අයින් කර සිතුවොත් ඔහු සහ වත්මන් ජනාධිපති කල දේ ඇත්තටම වීරත්වයක්. 

දෙවන කරුණ ඒවගේම වැදගත් දෙයක්. මේරටේ සෞඛ්‍ය ක්ශේත්‍රය ගිලගෙන සිටින ඖෂධ මාෆියාවට එරෙහිව ඔහු ගෙනයන ක්‍රියා මාර්ග ගැන සළකා බලන්න. එවකට සෞඛ්‍ය ඇමති සිරිසේන මහතා ඖෂධ මිල අඩු කිරීමට ගත් වෑයමක් ඖෂධ සමාගම් සිය ගණනක් එක් සමාගමක් මිලියන 2.5 ගණනේ එකතු කර සිරිසේන මහතාට වඩා එවකට බලවත් අයෙකුට දී එය නැවැත්තුවා. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා මිල පාලනයක් ගෙනවිත් දැනට ඖෂධ 48 ක මිල පාලනයකට යටත් කර තිබෙනවා. තවත් ඖෂධ ප්‍රමාණයක් මේ මිල පාලනයට ගෙන ඒමට කටයුතු යෙදෙමින් තිබෙනවා. මෙවැන්නක් ලංකාවේ සිදුවුණේ පළමුවෙනි වතාවට.

සේනක බිබිලේ ශ්‍රීමතාණන් වසර කිහිපයක් සටනක් ගෙන ගියේ විශාල සමාගම් ඖෂධ හරහා ගසා කෑම වළක්වා ලෙඩ්ඩුන්ට අඩු මිලට ඖෂධ ලබා ගැනීමට සැලැස්වීමට නම් ඔහු බලාපොරොත්තු වූ එහෙත් කල නොහැකිවූ දෙයක් අද රාජිත සේනාරත්න මහතා කරනවා. එවිට ඔහුට නූතන සේනක බිබිලේ යැයි කුඩා උත්සවයකදී කීම සමහර අයට මෙතරම් විශාල ප්‍රශ්ණයක් වන්නේ කෙසේද?

පවතින රජයෙන් සහ රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් ඖෂධ මිල දීර්ඝ කාලීනව අඩු කිරීමට සහ ජාත්‍යන්තර ඖෂධ නිශ්පාදන සමාගම් දොස්තර මාෆියාව හරහා රටට සහ ලෙඩ්ඩුන්ට කරන හානිය මැඩපැවැත්වීමට  දැනට කෙරී ඇති අනෙක් වැඩ ගැන ඔබ සමහර විට නොදන්නවා ඇති. මම එයින් එකක් පමණක් කියන්නම්. 2015 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කරන ලද Expression of Interest දැන්වීමක් හරහා තෝරාගත් සමාගම් 12 කට එකඟවූ මිලකට එකඟවූ ප්‍රමාණයක් රජය මිලදී ගන්නා පදනම මත ඖෂධ වර්ග කීපයක් ලංකාවේ නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලා පිහිටුවීමට  අනුමැතිය දුන්නා. එයින් කර්මාන්තශාලා හයක්  වැඩ නිම වීමට ආසන්න මට්ටමේ තියෙනවා. මේවාහී නිෂ්පාදනය ආරම්භ කලවිට එම ඖෂධ පිටරටින් ගෙන්වීමට යන වියදමින් විශාල කොටසක් ලංකාවේ ඉතිරිවෙනවා. එමෙන්ම අවුරුදු 15 ක කාලයකට මිල ගණන් එකඟ වී ඇති බැවින් එම ඖෂධ සඳහා යන මිල පාලනය කිරීමට රජයට හැකිවෙනවා. 

මේ අවුරුද්දේත් පුවත්පත් දැන්වීම් හරහා ලංකාවේ ඖෂධ සහ එන්නත් වර්ග නිෂ්පාදනයට කැමති අයගෙන් ඉල්ලුම්පත් කැඳවූවා. ඒ සඳහා සමාගම් 23 ක් ඉදිරිපත් වී තිබෙනවා.  අවුරුදු 15 කට නිෂ්පාදනය රජය මිලදී ගන්නා නිසා අතිරික්ත ධාරිතාව යොදාගනිමින් සුළු වශයෙන් හෝ අපනයනය කරන්නත් හැකිවෙන්න පුළුවන්. සේනක බිබිලේ ශ්‍රීමතාණන් ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඇතිකලේ එවකට තිබුණු ආර්ථික ක්‍රමය අනුව රජයේ වියදමින් මෙය කරන්න. අද ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ලෙස ශ්‍රී ලංකාවේම නිපදවීම මඟින් රජයේ වියදම් අඩු කිරීමටත්, රටේ විදේශ විනිමය ඉතිරිකිරීමටත්, සේනක බිබිලේ මහතා බලාපොරොත්තු වූ ඖෂධ සමාගම් බූවල්ලාගෙන් රට නිදහස් කර ගැනීමටත් විශාල වැඩ කොටසක් රාජිත සේනාරත්න මහතා යටතේ කෙරී ගෙන යනවා. 

රාජිත සේනාරත්න 'නූතන සේනක බිබිලේ' ලෙස හඳුන්වන ලෙස නිවේදිකාවට දන්වා සිටීමෙන් චන්දිම විතාන මහතාට වාසියක් වෙනවා දැයි මම දන්නේ නැහැ. එහෙත් නිවේදිකාව එසේ  කීමට විතාන මහතා කී බව ඇය හෙළි කලේ සන්නස්ගලගේ ප්‍රතිචාරයට පිළිතුරක් වශයෙනුයි. අනික ඇය චන්දිම විතාන උපදෙස් දීම ගැන සඳහන් කලේ රාජිත සහ කරූ එතනින් ඉවත්ව ගියාට පසු නේද? මෙම සිද්දිය එහාට මෙහාට කරකවමින් බ්ලොග් ලියන්නන් විකුණා වාසි ගන්නවා කියන තර්කය කොපමණ බොලඳ එකක්දැයි දැන් වැටහෙනවාද?  එසේම සේනක බිබිලේ ශ්‍රීමතාණන්ගේ දර්ශණය ඔහුගේ මරණයෙන් අවුරුදු 40 කට පසුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ රාජිත සේනාරත්න මහතා යටතේ බව මධ්‍යස්ථව මෙය කියවූවේ නම් ඔබට ඒත්තු යනු ඇති. ඒ අනුව ඔහුට නූතන සේනක බිබිලේ කියා ආමන්ත්‍රණය කීම ඔහු කරගෙන යන මේ සේවයට කල ගෞරවයක් ලෙසයි මා දකින්නේ. එමෙන්ම එවැනි විශාල වැඩ කොටසක් රටේ අභිවෘද්ධියට කරගෙන යමින් සිටින ඔහුව සම්මාන උළෙලට ආරාධනා කිරීම ඉතා හොඳ දෙයක් ලෙස මා දකිනවා.

දැන් මා ඔබගෙන් පැන කිහිපයක් අහන්නම්. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සහ මිල පාලනය කිරීමට ගෙන යන ඉහත ක්‍රියාමාර්ග වලින් සෞඛ්‍ය ක්ශේත්‍රයේ විශාල මුදලක් වැය වන ඖෂධ සහ එන්නත් වියදම දීර්ඝ කාලීනව සහ පාලනය කිරීමට නායකත්වය දෙන රාජිත සේනාරත්නට වඩා දෙයක් සන්නස්ගල මේ රටට කර තිබෙනවාද? එසේ නැත්නම් ඔහුගේ පැමිණීම හෙළා දකිමින් මම උතුම් යයි කියා ගන්නට උත්සාහ කරන අය රාජිත සේනාරත්න කරගෙන යන වැඩ කොටසට වඩා යමක්  කර තිබෙනවාද? රාජිත සේනාරත්න මේ ගෙනයන වැඩ පිළිවෙලින් ශ්‍රීමත් සේනක බිබිලේ බලාපොරොත්තු වූ අරමුණ කරා මේ රටේ සෞඛ්‍ය අංශය ගමන් කරමින් තිබෙනවාද? නැත්ද? අන්තිම පැනය මම අහන්නනේ නැහැ. එය කුමක්ද කියා ඔබ දන්නවා. එය ඔබගෙන්ම අසා මධ්‍යස්ථව සිතා පිළිතුරත් ඔබට දීගන්න.

කියවූ ඔබට ස්තූතියි.






59 comments:

  1. මම මේක අහන්නේ සම්මාන උළෙලට සම්බන්ද කරලා නෙමෙයි 'ප්‍රා' සංවිධානය සමග රාජිතගේ නම බොහෝ තැන්වල කියවිලා තියනවා නේද , ත්‍රස්ථවාදයට පිලිතුරු දීමටවත් නිල නොවන හමුදාවක් සන්නද්ධ කණ්ඩායමක් පවත්වාගන යාම සාදාරණිකරනය කරන්න බැ නේද

    ReplyDelete
    Replies
    1. අටම් ස්තූතියි. ඔව් එහෙම කට කථා කියවිලා තියෙනවා. දැන් රෝහණ විජේවීර මැරූ ආකාරය පවා ප්‍රසිද්ධියේ පුවත්පත් වල පළවුණා. මෙවන් දෙයක් වුණානම් එයට සම්බන්ධ හෝ දුටු එක් අයකු හරහා එළියට එන්න ඕන තරම් කාලයක් තිබුණා. එහෙම නැත්නම් 'ප්‍රා' කණ්ඩායමේ ඝාතන ඔක්කොම රාජිත තනියම කරන්න ඕන.

      මගේ නම් විශ්වාසය ජවිපෙ විනාස කරන්න ආරක්ෂක ඇමති ජෙනරාල් රන්ජන් විජේරත්න විසින් හමුදාවේ අය ලවා ඇතිකරපු සංවිධාන තමයි ප්‍රා සහ කහ බළල්ලු.

      ඔබගේ අනික් ප්‍රශ්ණයට පිළිතුර විවාදාත්මකයි. Unconventional ක්‍රම වලින් සටන් කරන ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන්න හමුදාවකට අසීරුයි. ඔවුන් නීති කීපයකට යටත් වන නිසා. අද ශ්‍රී ලංකා යුධ හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල වන්නේ හමුදාව ලෙස සමහර සිද්ධි වලට සහභාගී වීම. ඒවගේ දේවල් කරන්න විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්, පෞද්ගලික සටන් කරුවන්, සහ හමුදාවෙන් ඉවත්කරගත්ත සොල්දාදුවන් යොදාගෙන ක්‍රියාත්මක කරන සංවිධාන යොදාගන්නවා.

      සාධාරණද නැත්ද කියන ප්‍රශ්ණෙට මගේ උත්තරේ සාධාරණයි කියන එකයි. නීත්‍යානුකූලද නැත්ද යන ප්‍රශ්ණයට උත්තරේ නිත්‍යානුකූල නැහැ කියන එකයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. උතුරේ හා දකුණේ දෙකේම ත්‍රස්ථවාදය මර්දනය කිරීම සඳහා සම්මත යයි පිලි නොගන්නා ක්‍රම භාවිතා වුනා නේද?
      ඒ කාලයේ ඒවා කරන්න ඕනයි කියන එකත් ප්‍රායෝගිකව හරි. පස්සෙ ඒවා හොයලා දඬුවම් දෙන්න ඕන කියන එකත් න්‍යායාත්මකව හරි. ලෝකෙ හැම තැනම වෙන්නේ ඔය දෙකේ සංකලනයක්. අවශ්‍යම වෙලාවට මිනිස් අයිතිවාසීකම් උල්ලංඝනය වෙනවා, පස්සෙ එක එක මට්ටම්වලින් හොයා බලනවා දඬුවම් දෙනවා. සර්ව සම්පූර්ණව වෙනවා නම් මිනිස් ලෝකය වෙන්න බෑනෙ.
      කොහොමවෙතත් උතුරේ සහ දකුණේ ත්‍රස්ථවාදය විනාශ කිරීම ගැන අපි අති බහුතරය කැමතියි, ක්‍රම පිලිබඳ විවාද කලාට.

      Delete
  2. ඔහොම සීන් එකක් උනා කියලා මට මතක නෑනෙ. සන්නස්ගල මයිකෙක උදුරගෙන මොකද්ද කතාවක් කිව්වා තමයි. මං හිතුවෙ ඒක එයාගෙ කොණ්ඩෙ ගැන කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. උඹ අර නිවේදිකාව දිහා හරි කමියගෙ පිංකි නංකිලා දිහා බලාගෙන පිළිකුල් භාවනාව කරන වෙලාවෙදි වෙන්න ඇත්තෙ.

      මිනිහා මයික් එක අරගෙන ඇහුවේ නූතන සේනක බිබිලේ ගියාද කියලා. නිවේදකට විහිළුවක් කරන්න නම් මයික් එක ඕන වෙන්නෙ නැහැ. මයික් එක අරගෙන කිව්වෙ ලකුණු දාගන්න.

      Delete
    2. //ඔහොම සීන් එකක් උනා කියලා මට මතක නෑනෙ. සන්නස්ගල මයිකෙක උදුරගෙන මොකද්ද කතාවක් කිව්වා තමයි. මං හිතුවෙ ඒක එයාගෙ කොණ්ඩෙ ගැන කියලා// වැඩේ කියන්නේ සන්න එනකොට මම හිටියේ ස්ටේජ් එක උඩ. මයික් එක බලෙන් ඇදල අරං මොකක්ද කියුව කියල මිසක් මටත් ඔය සීන් එක මීටර් උනේම නෑ.

      අනිත් ඔක්කොටම වඩා පිළිවෙලට සන්න සම්මාන ටික නම් දුන්න කියල මතකයි. මේ පැත්තට හැරෙන්න ඔය සම්මානේ මෙහෙම අල්ල ගන්න අරගොල්ලන්ට මුණ පෙන්නන්න කියල සම්මාන ගත්ත උන්ගේ ෆොටෝ එක එහෙම ලස්සනට ගන්න සැලැස්සුව..

      Delete
  3. //එවකට සෞඛ්‍ය ඇමති සිරිසේන මහතා ඖෂධ මිල අඩු කිරීමට ගත් වෑයමක් ඖෂධ සමාගම් සිය ගණනක් එක් සමාගමක් මිලියන 2.5 ගණනේ එකතු කර සිරිසේන මහතාට වඩා එවකට බලවත් අයෙකුට දී එය නැවැත්තුවා.//
    මේ සම්බන්ධව කටකතා ඇරෙන්න වෙනත් විස්තරයක් (මාධ්‍ය වාර්තා වැනි දෙයක්) කොහේ හරි තියෙනවද? (අභියෝගයක් කරනවා නෙමෙයි. ඇත්තටම දැනගන්න අහන්නේ)

    ReplyDelete
    Replies
    1. ජනාධිපති ලෙස පත්වීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමෙන්තුව ඇමතු පළමු අවස්ථාව මෙය වන අතර පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් විවාදයක් අරඹමින් ජනාධිපතිවරයෙක් පාර්ලිමෙන්තුවේදී කතා කළ පළමු අවස්ථාවද මෙයයි.
      තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටියදී 2011 දෙසැම්බර් වන විට පනතේ කටයුතු අවසන් කරන්න හැකියාවක් ලැබුණු බව පැවසූ ජනාධිපතිවරයා නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අතට ගිය මෙම පනත ඉන් පසු අතුරුදහන් වූ බවයි ප්‍රකාශ කළේ.
      " එදා පනත අතුරුදහන් කිරීම සදහා එක ඖෂධ සමාගමකින් රුපියල් ලක්ෂ 25 ගණනේ සමාගම් 400කින් පමණ මුදල් එකතු කළ බව මට දැනගන්නට ලැබුණා, මම දන්නේ නැහැ ඒ මුදල කොහාටද ගියේ කියලා" ජනාධිපතිවරයා පැවසීය.
      පසුගිය රජය ඖෂධ සංස්ථාවට පත්කර සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එහි දුෂණ වංචා ගැන පෙන්වා දෙද්දී හිටපු ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් නොදැක්වූ බවයි ප්‍රකාශ කළේ.
      මේ පනත් කෙටුම්පත මඟින් නිදහස් සෞඛ්‍යය සේවයට හා ජනතාවට ප්‍රතිලාභ රාශියක් ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා පනතේ අඩුපාඩු ඇත්නම් ඒවා සාකච්ඡා කර සංශෝධනය කර ගත යුතු බවයි පෙන්වා දුන්නේ

      Delete
  4. මම සහ මම එරන්දිගේ මහත්තයා ඒ වෙලාවේම සන්නස්ගල කියපු ඒ මෝඩ කතාවට විරුද්ද උනා..මයික් එක අරගෙන "සේනක බිබිලේ ගියාද " කියලා අහපු එක උගේ තියන ගොන් මෝඩ මරිකම ප්‍රදර්ශනය කරා ..
    සිගරට් එකක් බොන්න පහලට ගියපු වෙලාවේ නලින් අයියන්ඩි මට පොරව අදුන්නලා දුන්නා "මේ සන්නස්ගල " කියලා මම මිනිහගෙන් ඉගෙන ගෙන නැතත් "සර් " කියලා කතා කරා ...නුගත් මෝඩයෙක් වගේ ප්‍රසිද්ද වේදිකාවක එහම මිනිහෙකුට ප්‍රසිද්දියේ අවමන කරපු වෙලාවේ සනස්ගලට "සර්" කියලා කතා කරපු එක ගැන මට අපරාදේ කියලා හිතුනා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා. සුදීකයා අළුත් ලිපියක් දාල උඹ ගැන

      Delete
    2. කෙසඟ, කාල වර්ණ පුද්ගලයා දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹනු ඇත

      Delete
    3. උබලා ලියන හැම දෙයකින්ම මම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න නිසා උබලට කෙමෙන්ට් එකක් දාලා දිරිමත් කරන එක මගේ යුතුකමක් විදිහට මම දකින්නේ

      Delete
  5. අපි ලග මොන දේශපාලන මතිමත්නත්ර තිබුනත් රාජිත එතනට ආව එක මම නම් හිතන්නේ බ්ලොග් වලට සම්බන්ද හැම කෙනකුටුම කරපු ගවුරවයක් රෙස්පෙක්ට් එකක්. සනස්ගලට පස්සේ වේදිකාවට ගියපු කෙනෙක් මයික් එක අරගෙන අර "සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්ණ පත්‍රය පන්නපු කෙනා ගියාද කියලා " ඇහ්ව්වනම් හරිද? එත් වැරදි නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මංද මෙන්ඩ මට තියෙන්නෙ වෙනම පස්නයක්.
      උඹව හම්බුන්නෑනෙ බං. සැක්කේ ඈ..

      Delete
    2. චාහා ...මමත් උබ එක්ක සෙට් වෙන්නම් කියලා හිට්යේ කමක් නැහැ ඊලග පාර මම උදුරලා හරි සම්මානයක් ගන්නවා එතකොට උබ අත්පුඩියක් ගහපන් ...

      නිකන් නෙමෙයි ඇනෝ මචෝ ...ගෙදර අරගෙන ගිහිල්ලත් බීපන් කියලා දුන්නත් මම එහම බොන්නේ නැහැ ...කියනකොට කෙමෙන්ට් වල බොන්න කයිවාරු ගැහව්වට දෙක දානකොට මගේ කන සාක්කුවේ ...ඒ උනාට මම කැමති බොන තැන්වල සෙට් වෙලා කයියක් ගහන්න...
      මාත් එක්ක තරහට "මොලයක් නැති හරකෙක් නම් ඒ මෙන්ඩිස්" කියලා කියන්න එපා ඇනෝ මචෝ මම සන්නස්ගල එතන වැරදි කිව්වේ මම කැමති නැහැ කවුරුවත් කාටවත් මඩ ගහනවට

      Delete
  6. සන්නට පයිත්තියං තදවෙලා. ඒ කාලෙ කොච්චර හොදට හිටියද.පව් අප්පා

    ReplyDelete
    Replies
    1. බොහොම හිතට අරගෙන ඉන්න කෙනෙක්නෙ. කොහොමද එයාගෙ කොණ්ඩෙ ස්ටයිල් එක.මුණුබුරාගෙන්ලු කොපි කලේ.

      Delete
  7. උඹලාට මෙහෙම හිතෙන්නැද්ද. සඳරුවගෙ "නිල්පාට තට්ටං" වෙනුවට "ඒජීයේ මහත්තයාගෙ වල්ල තැලූ හැටි" තේරුනානං කොහොමද නිවේදිකාව ඒක කියන කොට ආතල් එක.

    ReplyDelete
    Replies
    1. :))))) විනිශ්චය මණ්ඩලේට ගන්න වටිනා එකෙක්.. ;)

      Delete
    2. නිවේදිකාව කීමට අපහසු වන වචන වලින් මාතෘකාව තියෙන ලිපි වලට වැඩිපුර ලකුණු දෙන ක්‍රමයක් දාන්න යෝජනා කරමුද සුරංග. එහෙම නැත්නම් තේරුන ලිපි වල මාතෘකාව එහෙම වචන වලින් වෙනස් කරන විදිහක්: බොහොම ස්තූතියි

      Delete
    3. "ඒජීයේ මහත්තයාගෙ වල්ල තැලූ හැටි "2017 ලීවේ නැතිනම් මරු ලිපිය.

      Delete
  8. දැං ඔය බ්ලොග් උත්සවේට රැවුම්-ගෙරවුම්, ඇණුම්-බැණුම් සහ තර්ජන-වර්ජන කරන සේරමලා ජෙප්පන්ට ඡන්දේ දෙන්න පෙරුම් පුරන මහත්තුරු නේද? මඩ ගහන අය නම් මහින්ද මහත්තයාගෙනේ.

    සිරි ලංකාවේ ජනාධිපති රාජිතයි කිවට වරදක් නෑ, මොකද දැනට මෛත්‍රී ලව්ව කරෝගත්ත හොඳ වැඩ ටික රාජිත මැදිහත් වෙලා ගොඩදාපුවා.ලංකාවේ මින්ස්ු එක්ක වැඩ කරන්න මහින්ද ඇරුණුකොට හොඳටම දන්නේ රාජිත බූව. හැබැයි ඉතින් ජෙප්පොන්ට ඇරියස් තියනවනේ, ඒ නිසා ජේවිපි උණ තියන අයටත් රාජිත අරහන්,


    ReplyDelete
    Replies
    1. // හැබැයි ඉතින් ජෙප්පොන්ට ඇරියස් තියනවනේ, ඒ නිසා ජේවිපි උණ තියන අයටත් රාජිත අරහන්, //

      හෙහ් හෙහ් ස්තූතියි ඇණයා.

      Delete
    2. නන්දන ගුණතිලක ආවේ නැත්තෙත් රජිටැහැ එන නිසාලු. ඒ කියන්නේ යුඇන්පී අයත් කැමති නැහැ වගේ.

      Delete
  9. PRRA සංවිධානය (Peoples Revolutionary Red Army)සහ SRRA (Socialist Revolutionary Red Army) මහජන පක්ෂයේ සමහරුන්ගේ මූලිකත්වයෙන් ( ස්වාධීන ශිෂ්‍ය සංගමය හා යූඑන්පී සහයෙන් ) ක්‍රියාත්මක වුනාට සමසමාජ, නව සමසමාජ කොමියුනිස්ට් සහ වාමාංශික වෘත්තීය සමිතිවල අයත් සහයෝගය දැක්වූවා නේද? දකුණේ ත්‍රස්ථවාදය මුලින්ම වගේ ක්‍රියාත්මක වුනේ ජේවීපී එකට විරුද්ධ/වෙනස් වාමාංශිකයින්ට එරෙහිව නිසා ඔවුන් ආත්මාරක්ෂාවට එහෙම කලා නේද?
    මං නිවැරදිද දන්නේ නෑ. අපිට ඒ කාලේ තේරුනේ එහෙමයි. දැන් විශ්ලේෂනය කොහොමද

    ReplyDelete
    Replies
    1. Bro, SRA සම්බන්ධව ඔබගේ අදහස වෙනස් වුවා නම් හොඳයි. අපිත් ඒකාලේ වි.වී. සිසුන් ලෙස යමක් කරන්න උත්සහ කල නිසා පොඩි පොඩි දේවල් ටිකක් දන්නවා. ඒකයි එහෙම කිව්වේ. තරහ අවසර!!!

      Delete
    2. Thanks.
      SRRA ගැන අහල තිබුන දේ විතරයි කිව්වෙ. මගෙ අදහසක් නෙමෙයි. වරදින්න පුලුවන්. SRRA ගැන හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඔබ ඒ ගැන විස්තර කලොත් හොඳයි නේද?

      Delete
    3. ඇනෝ ඔබ දන්න විස්තර බෙදාගන්න, ප්‍රශ්ණයක් නැත්නම්. ස්තූතියි ප්‍රා (Pra Jay)

      Delete
    4. මමත් බයවුණා ඒ දවස් වල ප්‍රා ජේ එක්ක කතා කරන්න. මම හිතුවේ ප්‍රා ජිත කියල.

      Delete
  10. මම කල්පනා කලේ.. පොඩි කාලේ ළමා සමාජේ, ඉස්කෝලේ සාහිත්‍ය සමිති, ස්පෝර්ට්ස් මිට්, ඊට පස්සේ යෞවන සමාජේ, ටෙක් එකේ, පස්සේ කාලේ නේවි එකේ.. කොටිම්ම පාස් අවුට් වෙනකොට commissioning sword එක පවා ජයග්‍රහණය කල හැම වෙලාවකම සහතික තෑගී සම්මාන ගත්තේ එක එක දේශපාලකයින්ගෙන්.. ඒ කාලේ අපි උන්ගේ පැටිකිරිය හොයන්න ගියෙත් නෑ බෑ කියල නොගෙන හිටියෙත් නෑ.. කොටිම්ම ඇයි ඌව එතෙන්ට ගෙන්නුවේ කියල හිතුවේ වත් නෑ. වැදගත් උනේ අපේ ජයග්‍රහණය විතරයි.

    එහෙම බැලුවම බ්ලොග්කාරයෝ හරි වෙනස් ජාතියක්.. මට හිතෙන්නේ අපි ඒ වෙනසට ගරු කරන්න වෙයි.. :))

    ReplyDelete
    Replies
    1. හෙහ්. එහෙමවුනොත් වෙනත් පුද්ගලයින්ගෙන් සම්මාන ගන්නකොටත් අහන්න ඕනෙ එයා කාට චන්දෙ දීල මොන දේශපාලකයාව පත් කලාද කියලා. එතකොට ඌ අපි අකමැති දේශපාලකයෙක්ට චන්දෙ දීලා තිබ්බොත් සම්මානෙ ප්‍රතික්සේප කොරන්න වෙනව. :-)))

      අපිට නම් දේශපාලකයින්ට වඩා හොඳ දර්ශන ඒ වේදිකාවෙ තිබුනා කැලනි ෆ්‍රෙන්ඩ් තුමෝ. අන්තිමටම මොකා සම්මාන දුන්නද කියන එකට වඩා අපිට වැදගත් වුනේ කවුද සම්මාන එතනට ගෙනාවෙ කියන එක. අන්න ඒ රෝස වෙනසට අපි නම් ගරු කරනවා.

      Delete
    2. ඒ තැන් වලදි ප්‍රශ්ණ කිරීමෙන් පලක් නෑ, ඒ යම්කිසි දේකට නීත්‍යාණුකූල බැදීමක් තිබ්බ නිසා. මම හමුදාවකට හරි පොලිසියකට හරි නොයන්න හේතුවත් ඔය එක එකාට ඕනෙ විදිහට නටන්න මට ඉස්කෝලෙ යන කාලෙම තිබ්බ අකමැත්ත , ඒක වෙනස් කතාවක් බ්ලොග් ලියන කියවන එවුන් නිදහස් , බැදීමක් නැති උන් ( බහුතරයක් ) .උන්ට නොයන්ඩ වගේම විවේචනය කරන්ඩත්, එතනට ගිහින් විවේචනය කරන්ඩත් පුළුවන් වෙන්ඩ ඕනෙ.

      Delete
    3. මම හමුදාවකට බැඳෙන්න උත්සාහ කළත් බැරිවුණා. එහෙම වුණානම් එක්කො අද මම නැහැ, එහෙම නැත්නම් කමිය අද මට සර් කියනවා :))

      Delete
    4. ගියානම් ස්නයිපර් කෙනෙක්ගෙ හොද ටාගට් එකක්.
      " අන්න අර උස සුද්දට තියපං " කියල ඉස්සල්ලම දෙනව ෂොට් එක. : D

      Delete
    5. ඉයං සෑර්ට දැන් හරි යන්න බැරි‍යැ.
      මෙන්ඩා සෑර් ෆයරිං ඕඩර් දෙයි ප්‍රදේශයට අනුකූලව

      Delete
    6. කමියා පුහුණු වෙන කාලේ ගෙදර ඇවිත් කිව්වලු "පනිස්මන්ට් තමයි කන්න බැරි කියලා " ආච්චි කිව්වලු "ඔය නොදන්න ඒවා නොකා "බතුයි පරිප්පුයි හරි ඉල්ලගෙන කාපන් පුතේ කියලා

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. //කමියා පුහුණු වෙන කාලේ ගෙදර ඇවිත් කිව්වලු "පනිස්මන්ට් තමයි කන්න බැරි කියලා " ආච්චි කිව්වලු "ඔය නොදන්න ඒවා නොකා "බතුයි පරිප්පුයි හරි ඉල්ලගෙන කාපන් පුතේ කියලා// හිනා වෙලා පණ ගියා

      Delete
  11. රාජිත කියන්නෙ පාහර දේසපාලුවෙක්. 2020 බල පෙරලියක් වෙනවානම්, ඒකෙ නායකත්වය ගන්නෙ සජිත්ද, මහින්දද, චම්පිකද, අනුර කුමාරද කොටින්ම විමලයා වුණත්, ඌගෙ පස්සෙන් හිට ගන්න එකෙක් තමයි රාජිත. රාජිත ඇවිල්ල කපටි නරියෙක්, ඌගෙ ඔය ඖෂධ අඩු කිරීම සාමන්‍ය ජනතාවට සේනක බිබිලෙ වගේ පෙනෙයි. හැබැයි යටින් ඖෂධ සමාගම් කීපයකට පමණක් ඒකාධිකාරයක් හදාගෙන යාම තමයි ඌගෙ උපාය. ඒ හරහා වීරයෙක් වෙලා ඡන්ද වැඩි කරගන්න අතරෙ, අර සමාගම්වලින් කප්පම් අරගෙන ප්‍රකෝටිපතියෙක් වෙනවා. දැනටමත් නැව් හිමි කෝටිපතියෙක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. බොහොම ස්තූත්යි රොබර්ට්

      Delete
  12. //ඒකාලේ භීෂණයට කෙලින්ම මුහුණ දීමට සිදුවුණ කෙනෙක් හැටියට එවන් දේකට ඔහු සම්බන්ධ වුණා නම් හෝ නායකත්වයක් දුන්නනම් මට නම් ඔහු වීරයෙක්. //
    අපිත් ඔය භීෂනයට මුහුණ දුන්නෙ තරුණ වියට ඔන්න මෙන්න කියා තියෙද්දි, අපිත් සේෆ් හවුස් වල පාසැල් ගමන් නැතිව ගතකල කටුක කාලයක් ගතකලා.
    මම දන්නෙ නෑ රාජිත සහ 'ප්‍රා' සංවිධානය සහ ඔහුගේ සම්බන්ධය. හැබැයි චෝදනාව ඇත්තනම් මටනම් ඔහු නරුමයෙක්. ත්‍රස්තවාදී සංවිදානයක් සමග සටන් කල නීතයානුකූල හමුදා සමග සිටින අතුරු අවිගත් කන්ඩායම් සිටින්නෙ ඔවුන්ගේ පුද්ගලික අරමුණු ඉටුකරගැනීමට පමනයි. ඔවුන්ට වීරයන් ලෙස සැලකීම කොහෙත්ම නොකල යුත්තක්.

    ReplyDelete
    Replies
    1. කම්මල බොහොම ස්තූතියි. මම කියා ඇත්තේ ඔහු ප්‍රා කණ්ඩායම මෙහෙයෙවූවානම් ඔහු මට වීරයෙක් බව පමණයි. මේකාලයේ බොහෝ දෙනෙක් ඉවත්වීම නිසා මටත් දේශපාලන කටයුතු වල යෙදෙන්න සිදුවුණා. මා සමඟ සිටි බොහෝ දෙනෙක් මැරුම් කෑවා. එම හීතු නිසා මට මගේ වීරයන් තෝරාගන්න අයිතියක් තියෙනවා නේද?

      Delete
  13. ඉයන්,

    //ජනාධිපතිවරයෙකුට එරෙහිව සංවිධානය නොවූ විපක්ෂයකට පැමිණීමට ඔහු ගත් අවදානම ගැනීමට ඔබට ආත්ම ශක්තියක් සහ නිර්භීත බවක් තිබෙනවාද? //

    මහින්ද රාජපක්ෂ කියන්නේ රාජිතගේ පුද්ගලික මිතුරෙක් මේ කුමන්ත්රණය පැරදුනානම් රාජිතට ඇමතිකම නැතිවෙයි නමුත් ඊට වැඩි හිංසාවක් වෙයි කියල හිතන්න බෑ අද මහින්දව ආරක්ෂා කරන්නෙත් රාජිත වගේ කට්ට්ය තමයි මේ තර්කය හොදයි කොනඩේ බැදපු චීන්නුන්ට (චීන උනත් දැන් කොන්ඩේ කපල ඉන්නේ )

    //රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා මිල පාලනයක් ගෙනවිත් දැනට ඖෂධ 48 ක මිල පාලනයකට යටත් කර තිබෙනවා//
    හෙ හේ මේක එක ගලින් කුරුල්ලෝ 2 නයි ඔවුෂද සමාගම් වලින් ඉහල කොමිස් ලැබෙන අතර ජනතාව අන්දන්න පුළුවන්,
    අඩුකරලා තියෙන බෙහෙත් http://www.sundaytimes.lk/161106/news/price-control-on-48-drugs-hotlines-kept-busy-216132.html
    රටේ මිනිසුන් දිනපතා පාවිච්චි කරන බෙහෙත් නොවනබව අමතක කයයුතු නෑ

    දිවයින පත්‍රයට අනුව http://www.divaina.com/2016/11/13/feature40.html

    {ඖෂධ මිල අඩු වූ නිසා දැන් වෙනදාට වඩා ප්‍රෙෂර් පෙති, දියවැඩියා පෙති ගන්න එන රෝගීන් ගණන වැඩියි. දැන් සමහරු මාසෙටම අවශ්‍ය ප්‍රෙෂර් පෙති ගන්නවා. එක්‌ ඖෂධ අලෙවි සලක ඖෂධවේදියකු මා හා පැවසීය.

    ඒ කියන්නේ මිල සූත්‍රය සාර්ථකයි, මම ඔහුගෙන් විමසුවෙමි.

    සියයට සියයක්‌ සාර්ථක නැහැ.... මොකද? මේ මිල සූත්‍රය නිසා උසස්‌ තත්ත්වයේ සමහර ඖෂධ මිල පාලනය යටතේ අලෙවි කරන්න බැහැ. එම ඖෂධ භාවිතා කරපු සමහර රෝගීන් වෙනත් වර්ගයක ඖෂධ පාවිච්චි කරන්න බයයි. අපටත් එම ඖෂධ වෛද්‍ය උපදෙස්‌ නැතිව වෙනස්‌ කරන්න බැහැ.}

    //2015 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කරන ලද Expression of Interest දැන්වීමක් හරහා තෝරාගත් සමාගම් 12 කට එකඟවූ මිලකට එකඟවූ ප්‍රමාණයක් රජය මිලදී ගන්නා පදනම මත ඖෂධ වර්ග කීපයක් ලංකාවේ නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලා පිහිටුවීමට අනුමැතිය දුන්නා.

    //

    අද 2017 අප්‍රේල් මාසයට තව දින කීපයක් තියන්නේ අවුරුදු 2 යනවද ගොඩනැගිලි හදන්න ? මේක ක්‍රයාත්මක වීමට 2020 විතර යයි ඊලග චන්දයට අපුරු පොරොන්දුවක්



    //බිබිලේ ශ්‍රීමතාණන්ගේ දර්ශණය ඔහුගේ මරණයෙන් අවුරුදු 40 කට පසුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ රාජිත සේනාරත්න මහතා යටතේ බව මධ්‍යස්ථව මෙය කියවූවේ නම් ඔබට ඒත්තු යනු ඇති//

    රාජිත රජයේ ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනයත් අකර්මන්‍ය කල බව ඔබතුමා දන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි.

      ලාංකික සිතුවිලි විසින් දී ඇති එක ලින්ක් එකක්
      මෙම ලින්ක් එකෙන් කියවිය හැකියි. හැකිනම් එය කියවන්න. එහි අන්තර්ගතයත් ඉහත කමෙන්ට් එකත් කියවීමෙන් ඔබට ඒගැන අදහස ඇතිකර ගත හැකි වේවි.

      Delete
    2. ඉයන්,

      දෙසපාලකයන් යමක් කරන කොට සැකෙන් බලන්න ඕනේ ඔවුන් ජනතා සේවයක් කරන දේවල් කරන්නේ බොහෝවිට තව වියාපරිකයන් කොටසකට තර්ජනය කර කප්පම් ලබාගන්න, මේක දැන් විහ්සල වියපරිකයනුත් කරනව ලෝකේ පුරා නිර්මාංශ වීම සහ සත්ව හිංසාව ගැන කතාකරන කෙනෙක් ගමක කර්මානතශාලාවේ අපද්‍රවය පරිසරයට එකතු කරනවා, මිනිසුන්ට ලිදකින් වතුර බොන්න බෑ.

      Delete
  14. රාජිත අවස්ථාවාදී කපටි දේශපාලකයෙක්.හැබැයි රාජිත ගැන ඉයන් කියන දේට වඩා මම ඔහුව අගය කරන දෙයක් තියෙනවා.ඒ ඔහු තුල ජාතිවාදී අදහස් නැති කම.ගොඩක් දේශපාලකයෝ තමන්ගේ අවිය විදියට "ජාති වාදය" භාවිතා කරන කොට ඩිලාන්,පාලිත තෙවරප්පෙරුම වගේ කිහිප දෙනෙක් විතරක් එහෙම ජාතිවාදයට මුවාවී කටයුතු නොකිරීම ගැන තියෙන්නේ ප්‍රසාදයක්.ඒ හැර උන්ගේ ඇති හොඳක් නැහැ.

    අනිත් අතට ජවිපෙ භීෂණයට ඉලක්ක වුනේ රාජිතලා විතරක් නෙමේ.තවත් ඕන තරම් අය හිටියා ජවිපෙ භීෂකයින්ගේ ඉලක්ක වෙලා.ඒ හැමෝමත් රජයේ සහය ඇතුව හෝ නැතුව ඔය විදියේ ඝාතන කණ්ඩායම් තියාගෙන හිටියා නම් හරි ෂෝක්නේ.දේශපාලනය නිසා ඇති වෙන තර්ජන හේතුවෙන් අතුරු සන්නද්ධ කණ්ඩායම් වල ආරක්ෂාව රටක පුරවැසියන්ට ගන්න වෙනවා නම් ඒ ගැන වගකියන්න ඕනෑ රට කරවන දේශපාලකයෝම තමයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි මනෝජ්. බොහොම ස්තූතියි

      Delete
  15. අනේ මන්දන්නෑ. ඔය දේශපාලන කේස් වලට කොමෙන්ට් කරන්න මට කිසිම දැනීමක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රා සන් නේ? තාත්තලගෙ කාලෙනෙ

      Delete
    2. වේලක් බඩිගින්නෙ ඉදල , හොරෙන් ලෙමන් පෆ් එකක් කාපන් , නැත්නම් පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියල කිරි එකක් හදන් බීබං. පරිනත දේශපාලකයෙක් වෙන්න පුළුවන්.

      Delete
    3. මමත් දන්න දේශපාලනයක් නැහැ එත් සන්නස්ගල ඒ වෙලාවේ එතන කිව්වේ කොහෙත්ම නොගෙලපෙන කතාවක්

      Delete
    4. ප්‍රා, 88 මම හතේ පංතියෙ විතර ඇති.
      කම්, අපේ පංසලේ හාංදුරුවන්ට කිරි බොන්න එකක් තියෙනව. හැක්..
      මෙන්, උඹට තිබුණෙ බ්‍රා එකකිං දමල ගහන්න.

      Delete
  16. සන්නස්ගල කියන්නේ මරාගෙ සට්ටැඹියෙක්

    ReplyDelete
  17. ඉයන්, ඔබ හා එකඟයි...මරා පරාජය කිරීමට රාජිත කල මෙහෙය කිසිදාක අමතක කල යුතු නෑ. ඔහුගේ අභිප්‍රාය මොකක් වුනත් ඒ වෙලාවෙ ඒ කරපු දේ වටිනවා.

    ReplyDelete
  18. //ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සහ මිල පාලනය කිරීමට ගෙන යන ඉහත ක්‍රියාමාර්ග වලින් සෞඛ්‍ය ක්ශේත්‍රයේ විශාල මුදලක් වැය වන ඖෂධ සහ එන්නත් වියදම දීර්ඝ කාලීනව සහ පාලනය කිරීමට නායකත්වය දෙන රාජිත සේනාරත්නට වඩා දෙයක් සන්නස්ගල මේ රටට කර තිබෙනවාද? //

    රාජිත සහ සන්නා දෙපැත්තෙ තිබ්බොත් මට වටින්නේ සන්නා. සන්නා සාහිත්‍යයට හරි දෙයක් කරනවා. රාජිත මොන රජය ආවත් ඇමති. වැඩකට ඇති දෙයක් කියල කළේ මරාව වට්ටන්න විපක්ෂයට ආපු එක.

    ඖෂධ ගැන කතා කරපු නිසාම කියන්නම්. මිල පාලනය කළේ ජනතාව වෙනුවෙන් නෙවේ. බ්‍රෑන්ඩඩ් කොලිටි ප්‍රඩක්ට් කීපයක් අනාත කරලා, අඩු මුදලට තමන්ගේම බාල ප්‍රඩක්ට් ටිකක් ගෙන්නන්න කියල කතාවක් තියෙනවා. ඇත්ත නැත්ත හොයා බලන්න.

    ReplyDelete
  19. මටනම් ජේවීපී සහ එල්ටීටී යන දෙගොල්ලොම ත්‍රස්තවාදී විතරයි..දෙගොල්ලන්වම උන්ට තේරෙණ භාෂාවෙන් මර්ධනය කරපු නිසා අද ලංකාවේ හැමෝම සැනසිල්ලේ ඉන්නවා.. ප්‍රා එක මෙහෙයවීම වගේ වැඩක් රාජිත වගේ කෙනෙක්ට කරන්න පුළුවන් ද කියලා මටනම් විචිකිච්චාවක් තමා තියෙන්නේ..

    සේනක බිබීලේ කියන්නෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරණවා කියන එක වගේම හොඳට පට්ට ගහපු මාතෘකාවක් තමා.. හුඟ දෙනෙක්ට සේනක බිබිලේ වෙන්න ඕනා ඖෂධ සමාගම වලින් ලැබෙන වරදානත් අහිමිකරගන්නේ නැතුව...

    අනේ මංදා බෙහෙත් වල මිල අඩු කළා කිය කිය රාජිතලා උඩ පැන්නට අපිට දැනෙන්න එහෙම අඩු විමක් වෙලා නෑ.. අඩුම තරමින් බ්‍රෑන්ඩ් නේම් නැතුව ජෙනරික් එකෙන් බෙහෙත් ලියගන්නවත් අපිට ඔය මොන කෙංගෙඩිය කළත් තාම පුළුවන් වෙලා නෑනේ..

    චතුර වගේ ජෝකර් කෙනෙක්ව රටට දායද කරපු පිනෙන්නම් මොනා නැතත් රාජිත ගැලවෙන්න බෑ..මම විජය නන්දසිරිගේ කොමඩි බලන එක එහෙම්පිටින්ම නවත්වලා දැම්මා..

    ReplyDelete