Thursday, November 3, 2016

ජවිපෙට අනාගතයක්


ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනය

ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ ශ්‍රිලනිපට වඩා බොහොම වෙනස් පුද්ගලයින්. ඒක පොඩ්ඩක් හරි වෙනස් වූණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරහා. විශාල කාලයක් පක්ෂයේ ඉදිරි පෙලේ නායකයෙක්ව සිටි නිසාම ඔහුට නායකත්වය ලැබුණා. රනිල් ගෙන් පසු එජාපයට මොනව වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ කුතුහලයක්. ඒකට හේතුව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට පිළිගත හැකි ආකාරයේ දේශපාලකයින් වන එරාන් වික්‍රමරත්න, ආචාර්‍ය හර්ෂ සිල්වා වැන්නවුන් දේශපාලනයට ලඟදී පැමිණියවුන් වීම. එම නිසා බොහෝ විට රනිල් ගෙන් පසු සජිත් ප්‍රේමදාස නායකත්වයට  පත්වෙන්න පුළුවන්. 

සජිත් පක්ෂයේ තරුණ කොටස් අතර කැමැත්තක් දිනා ගත් කෙනෙක් බව සත්‍යයක් වුණත් දේශපාලන දර්ශණයක් පෙන්නුම් කල අයෙක් නොවෙයි. ඔහුට සමාන ශ්‍රිලනිප දේශපාලකයා වුණේ මහින්ද . මහින්දත් දේශපාලනයට සම්බන්ධ පාක්ෂිකයින් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වුණාට රට ගැන දර්ශණයක් ඇති කෙනෙක් නොවෙයි. සජිත් විපක්ෂයේ සිටි සමයේ සහ අද ක්‍රියා ගැන සලකන විට මේ දර්ශණයක් ඇති නැති වෙනස ගැන හොඳින් පැහැදිලිවෙනවා. එක කාලයක ඔහු රැකියා නැති තරුණියන්ට මහන මෙෂින් බෙදා දෙන ව්‍යාපෘතියක් කරගෙන ගියා. එක ගෙදරකට මෙශිමක් ලැබුණු විට අවට නිවෙස් වල අයගේ මැහුම් අවශ්‍යතා සපුරා අතිරේක ආදායමක් ලබා ගත හැකි වුණත් හැම තැනම මෙෂින් බෙදුවොත් වෙන්නේ සැමටම එය ආර්ථික වශයෙන් අවාසිදායක දෙයක් වෙන එක. දර්ශණයක් ඇති අයකු කරන්නේ මහන ඇඳුම් වලට ඉල්ලුමක් ඇති කර දීම පමණයි එවිට එම තරුණියන්ට ලීසින් එකක් හරහා හෝ මෙශිමක් ලබා ගෙන එම කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතාවය හෝ සම්බන්ධකම් යොදවා එවන් ඉල්ලුමක් එනම් ඕඩර් මෙරට ගැණුම් කරුවන්ගෙන් හෝ විදේශාය ගැණුම් කරුවන්ගෙන් ලබාගෙන එම රැකියා විරහිත තරුණියන්ට ලබා දෙන ක්‍රමයක් හැදුවානම් එම ක්‍රමය අඩු වියදම් එමෙන්ම දීර්ඝ කාලීනව ඔවුන්ට සහ රට වාසි වෙන දෙයක් වෙන්න තිබුණා. ලඟකදී එලිදුටු රස්සා දීමේ නාඩගම තව උදාහරණයක්. 

මෙච්චර දිග හැඳින්වීමකින් පටන් ගත්තේ වෙන දෙයක් කියන්න. එනම් ජනතා විමුක්ති පෙරමුණට නුදුරු අනාගතයේදී බලයට එන්න අද රට තියෙන සංදිස්ථානය ප්‍රයෝජනයට ගන්න තරම් දැක්මක් සහ වැටහීමක් ඇතිවෙයිද කියන දේ ගැන හිතන්න. මගේ අදහස නම් ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය ගත්විට පක්ෂයට කල වෙනස හැදෑරිය යුතුයි කියායි.  1994 ට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමාජවාදී ප්‍රතිපත්ති දැරූ පක්ෂයක්. 1979 සිට කීප වතාවක්ම දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයට පැරදුණා. 1994 දී කම්කරු පක්ෂ නායකත්වයට පත්  බ්ලෙයාර් එය සමාජවාදී සහ කම්කරුවන්ගේ පැත්තට අදින පක්ෂයක් ලෙස නොව නව ආර්ථික ක්‍රම පිළිගන්නා නවීන පක්ෂයක් බවට පත්කලා  ඉන් අවුරුදු තුනකට පසුව කම්කරු පක්ෂය බ්ලෙයාර් යටතේ ජයගත්තා. ඔවුන්ට පිට පිට මහ මැතිවරණ තුනක්ම බලය ලබා ගන්න පුළුවන් වුණා. අනික් උදාහරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1956 සිට 1993 දක්වා තිබූ සෑම මැතිවරණයකටම ඔවුන් පෙනී සිටියේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදහන පක්ෂයක් ලෙසටයි. 1993 නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරණතුංග මෙය වෙනස් කලා. ඔවුන් සමාජවාදය අතහැර විවෘත ආර්ථිකය පිළිගත්තා. 1994 දී ඔවුන් පොරොන්දු වුණේ විවෘත ආර්ථිකය මානුෂික මුහුණුවරකින් කියන මැතිවරණ පාඨය. එසේ නොවන්නට ඔවුන්ට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ ඇති බොලඳ භාවය අත්හැරීමටත් සමාජවාදී හැව අතහැරීමටත් හොඳම කාලය මෙයයි යන්න මගේ විශ්වාසයයි. මෙය කිරීමට රටේ මුදල් කාබාසිනියා කරන ඔවුන් පාඩු ලබන ආයතන විකිණීමට විරුද්ධ වීම, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වීම, වෘත්තීය සමිති පැත්තට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යාපාර වල කම්කරු අසහනය ඇතිකිරීමට උල්පන්දම් දීම වැනි අද ආර්ථිකයන්ට නොගැලපෙන දේවල් වෙනුවෙන් පෙනී සිටීමෙන් බහුතරයක් ඔවුන්ට ඡන්දය දීමට මැළි වෙන බව වැටහිය යුතුයි.

ඔවුන්ගේ මුදුන් මල්කඩ වූ රුසියාව සහ චීනයත් අත්හැර දැමූ ආර්ථික ප්‍රතිපත්තියක් කරපින්නා ගෙන සිටින තාක් කල් ඔවුන්ට චන්ද ලක්ෂ 5 සීමාව පහු කිරීම නම් නොවෙනු ඇතැයි යන්න මම සිතනවා.  යම්කිසි ප්‍රාතිහාර්යයක් සිදුවී ජනතා විමුක්ති පෙරමුණ තම දර්ශණය වෙනස් කරගත්තොත් විය හැකි දේ සිතා බලන්න. විවෘත ආර්ථික ක්‍රමය හොර මැරකම් නැතිව ක්‍රියාත්මක කරනවා නම් අද එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස සිතින එහෙත් සජිත් ගේ micro management වලට එකඟ නොවෙන අයට ජනතා විමුක්ති පෙරමුණ හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. එමෙන්ම මහින්දට පින්සිද්ධ වෙන්න දෙකට කැඩෙන ශ්‍රී ලංකා පාක්ෂිකයන්ටත් ඒ ඒ නායකයින්ගෙන් පසුව කාලයේ එය හොඳ විකල්පයක් වෙන්නට පුළුවන්.

 අවුරුදු 30 ක ඉතිහාසයක් ඇති පක්ෂයක් වශයෙන් හා සම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා හොඳ ප්‍රතිරූපයක් ඇති ඔවුන්ට බලය ලබා ගැනීමට නොහැකි හේතුව ඔවුන් තේරුම් නොගැනීම මට නම් පුදුමයක්.  උණුත් හොරු මුණුත් හොරු එමනිසා අපිට බලය දෙන්න යන සටන් පාඨය නම් තව දශක කිහිපයකට සාර්ථක නොවන බව ඔවුන්ට වැටහිය යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අය වංචාවලින් තොර බව මිනිසුන් දන්නවා. එහෙත් ඔවුන්ට ජවිපෙට චන්දය දෙන්නේ නැහැ. ඒ බැව් පෙනි පෙනීම තව දුරටත් අපි තමයි අවංක අනික් අය හොරු යන්න කීම පමණක් කිරීමෙන් ඇති වැඩක් නැහැ. මහජනයා දන්න දෙයක් නැවත නැවත කීමෙන් වෙන වාසියක් නැහැ. ඔවුන් සිටියදී වංක පුද්ගලයන් ඇති  පක්ෂ වලට ඡන්දය වැටෙන්නේ ඔවුන්ගේ ආර්ථික දැක්ම බව දැන්වත් තේරුම් ගෙන 1994 දී ටෝනි බ්ලෙයාර් කම්කරු පක්ෂයට සහ 1993 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ප්‍රතිපත්තීන්ට  කල වෙනස්කම් හදාරා ඉතා ඉක්මනින් පක්ෂයේ මුහුණුවර සහ ක්‍රියා වෙනස් කලොත් නම් ඉදිරි අවුරුදු 5-10 තුල බලයට ඉතා ආසන්න වීම හෝ ලබා ගැනීම නම් වලක්වන්න බැහැ.

පෞද්ගලික ව්‍යාපාර, රජය වෙලඳ ව්‍යාපාර වලින් අයින් වීම, පෞද්ගලික  අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම සහ සිසු ණය ක්‍රමය හරහා ආර්ථික තත්ත්වයේ බලපෑමකින් තොරව හැමටම පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීමට සැලැස්වීම යන ආදිය අත්‍යවශ්‍යම ප්‍රතිපත්ති වෙනස්කම්. මෙවන් ප්‍රතිපත්ති වෙනසකින් පසුව උගතුන්,  බුද්ධිමතුන්, වංචා වලින් තොර දේශපාලනයට කැමැත්ත ඇත්තන්  සමාජිකත්වයට එක කරගනිමින්  පක්ෂ පදනම විශාල කරගැනීමට ඉතාම හොඳ වටපිටාවක් ඇතිබව ඔවුන්ට තේරුම් යාවි යැයි බලාපොරොත්තු වෙමි.

ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක්නම් මෙම අදහස ඔවුනට දෙන්න.

උපුටා ගැනීමට කිසිම කොන්දේසියක් නැත.


78 comments:

  1. //පෞද්ගලික ව්‍යාපාර, රජය වෙලඳ ව්‍යාපාර වලින් අයින් වීම, පෞද්ගලික අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම සහ සිසු ණය ක්‍රමය හරහා ආර්ථික තත්ත්වයේ බලපෑමකින් තොරව හැමටම පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීමට සැලැස්වීම යන ආදිය අත්‍යවශ්‍යම ප්‍රතිපත්ති වෙනස්කම්. //

    එම දේවල් වලින් ඈත් වුනොත් ජවිපෙ මාක්ස්වාදී (හෝ අනුර කුමාර ගේ මාකස් වාදී) පක්සයක් වෙන්නේ කොහොමද? චේ, ලෙනින්, මාක්ස්, එන්ගල්ස් සහ විජේවීර ගේ රූප පෙන්නාගෙන පෙලපාලි යන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ජාත්‍යන්තර තත්වය මගඇරියත් ජෙවිපේ තාම විකුනන්නේ විජේවීර සහ කැරල්ලේදී මියගිය සාමාජිකයන්ව. ඉතින් ඔවුන් එතනින් එහාට යන්න බයයි. ගිහින් ලැබෙන චෝදනාවලට පිළිතුරුදෙන්න බයයි.ඒ නිසා හැමදාම ඔතනම තමයි.

      Delete
    2. බොහොම ස්තූතියි සාරස තුමා සහ කටුසු

      Delete
  2. කොළ පාටට මුල් කාලේ රට නැංවූවාලූ
    නිල ඇවිදින් කොළ මකලා බලයක් ලැබුවාලූ
    කොළ නිල මැද අනාගතය හිතන්න බැරුවාලූ
    මල පිපෙන්න රතු පාටට කාලෙ හරිද යාළුු......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම්මම නෙමෙයි දුමින්ද. කොළ පාට තමයි හැමදාම කලේ. ඒවුණාට ඒ පරම්පරාව ඉවරයි. ඊලඟට ඉන්න කට්ටිටියගේ කොළ නිල් වෙනසක් නැහැ. එතෙන්දි විකල්පයක් වෙන්න අවස්ථාව මේ අයට තියෙනවා.

      Delete
  3. මල්ලි හරි මල්ලී.. අන්න එහෙම එන්න..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොහොම ස්තූතියි කවිඳු

      Delete
  4. ජවිපෙ ට වෙනස් වෙන්න බෑ, ජවිපේ තියෙන්නේ උපන්ගෙයි වෛරයන් / ඊර්ෂියාවන් කරපින්නා ගත් සෙට් එක වෙනුවෙන්, එහෙම සෙට් එකක් ඉතිහාසය පුරාම සිටියා සහ ඉන්නවා. සමාජවාදී / විප්ලවවාදී පිටකවරයට මුලාවෙලා ජවිපෙට සම්බන්ධවෙන අය යතාර්ථය අවබෝධවුනාම එකෙනෙකා ගැලවිලා යනවා, ටොය්යෝ යූ එන්පිය ටත්, බය්යෝ ඊට ප්‍රතිවිරුද්ධ සංධානයේ එකකටත් වශයෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇණයා. වෙනස් වෙන්න අමාරු තමයි. වෙනස් වුණොත් ඒ ගොල්ලන්ටට්යි රටටයි දෙකටම හොඳයි.

      Delete
  5. හුටා..ඒ පාර ඉයන්තුමා මොනාද මේ අපිට කියන්නේ....?

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ අවංක දේශපාලකයන්ට බලය ගන්න ක්‍රමයක් චෙෆා. එච්ච්චරයි.

      Delete
  6. ගාන්ටාර මාක් සරම් මතක ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තයාගේ 1977 මැතිවරණේ ප්‍රසිද්ධ ජෝක් එකක්.

      Delete
  7. ජවිපෙ වැඩිම ඡන්ද ගත්තේ සිරිලංකා එකට"බඩ්" කරපු කාලෙයි. වෙනම පැල කළා ම මුල් අදින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. එතෙන්දි ගත්තෙ චන්ද නෙමෙයි මනාප. මනාප තුනෙන් එක ජවිපෙට කියන සංකල්පය උඩ. ඒවා වොඋන්ට වැටෙන චන්ද නෙමෙයි. බොහොම ස්තූතියි රසික

      Delete
  8. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය democratic socialism

    ReplyDelete
  9. ඒ මිනිස්සු අනිත් අය කියන කිසිම දෙයක් පිළිගන්න අය නෙමයි ..
    එයාලා හිතාගෙන ඉන්නේ එයාලට වඩා දන්නා අය නැහැයි කියලා

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      මෙන්ඩා ඉස්සර කිව්වා නේද දේශපාලනේ දන්නෙ නෑ කියල? ඔය දන්න ටික ලංකාවෙ බහුතරයට වඩා හොඳයි.

      ශ්‍රී ලංකා, යූඑන්පී, ටීන්එන්ඒ අය එක එක කාලෙට ඒ ගොල්ලන්ට වුන වැරදි අතපසුවීම් ආදිය ගැන කියනවා. ජේවීපී අය බොහොම අකමැතියි ඒවා කියන්න, වෙන කවුරුවත් කිව්වත් තරහ යනවා. ඒ ගොල්ලන්ට වරදින්නෙ නැතුව ඇති

      Delete
    2. හැබැයි පක්ෂය ඇතුලේ නම් "ස්වයං විවේචන"තියෙනවා නේද ?

      Delete
    3. මම හිතන්නේ නායකත්වය තරුණ වැඩි එක තමයි ඒකට හේතුව. වයසින් වැඩි නායකයින් 88 දී නැතිවුණාම තරුණ වයසින් නායකත්වයට ආපු අය තමන්ගේ හතර මායිමෙන් එහාට අවුරුදු 10-20 ක අනාගතයක ගැන හිතන්න උත්සාහ කරන්නේ නැහැ.

      Delete
    4. //////වයසින් වැඩි නායකයින් 88 දී නැතිවුණාම තරුණ වයසින් නායකත්වයට ආපු අය තමන්ගේ හතර මායිමෙන් ////////

      ඉයන්...මේ ඉතාම අවාසනාවන්ත තත්වයක්. මම කියන්නේ 88-89 කාලය ඇතුලත අපට අහිමිවුනේ ජීවිත විතරක් නෙමේ. එක් පරපුරක්. මේක ජේව්පිද, අනිත් අයද කියන එක මට වැද්\ගත් නැහැ. නමුත් අහිමිවුනේ පරම්පරාවක්. ඒ ගැප් එක නිසියානූකූලව පුරවන්න බැරි නිසා තමයි සංස්කෘතික, සමාජ,සහ දේශපාලන නොගැලපීම සහිත අපත සමාජයක් බිහිවෙන්නේ. මේක හෙමින් හිතන්න.

      මේ වගේම ඉතා අමිහිරි සමාජ තත්වයක් උතුරේත් බිහිවෙයි. එතනත් ලොකු ගැප් එකක් තියෙනවා. ඒක දැනෙන්න තව කාලයක් යයි. නටු නැතිව පිපෙන මල් කියලා තමයි මම ඕක විග්‍රහ කරගන්නේ මට තේරෙන විදිහට.

      Delete
    5. ඔබ හරි අරුණ. මොවුන් වෙනස් නොවුණොත් තියෙන එක අවදානමක් ඒක. ඒ කියන්නේ ඔවුන්ගේ නොතේරීම, ලෝකයේ ආර්ථික ක්‍රම වල වෙනස ආදිය තේරුම් නොගෙන බලයට පැමිණීමට නොහැකි වීමෙන් ඔවුන් තවත් විප්ලවයකට තල්ලු වී තව පරම්පරාවක් විනාස කිරීමට තිබෙන ඉඩ වැඩියි.

      Delete
    6. @Pra
      මම හිතන්නේ මට ලැබුන හොදම අගය කිරීම මේ වෙන්න ඇති ..දැන් බය නැතුව උබලගේ දේශපාලන ලිපි වලට කෙමෙන්ට් දාන්න පුලුවන්

      Delete
    7. හැබැයි පක්ෂය ඇතුලේ නම් "ස්වයං විවේචන"තියෙනවා නේද ?

      මොන පිස්සුද මචෝ ..ඔය පක්ෂයට සම්බන්ද වසන්ත සමරසිංහ සහෝදරයා මාත් එක්ක එකට පාඩම් කරපු වල බැහපු මගේ හොදම යාලුවෙක් ..ඌ කැම්පස් ගියා අද රටේ තැනක ඉන්නවා එකට මට බොක්කෙන් සතුටුයි ටික කාලයකට ඉස්සර පාරේදී මුණ ගැහිලා දෙතුන් පාරක් පස්සෙන් එළවන් ගියා කතා කරන්න ...ඒ ඔලුව ඉදිමිලා තියන විදිහ දක්හම සංසාරේ කල කිරෙනවා ..දුමින්ද දිසානායක මාත් එක්ක එකට බෑන්ඩ් ගහපු එකෙක් එත් ඌ මට පාරේදී හම්බවෙලා "මෙන්ඩිස් අය්යා මේ පාරත්අපිට නේද" කියලා ඇහැව්වා ...අන්න වෙනස ...

      Delete
  10. මමත් කල්පනා කලේ ඉයන්, පාර්ලිමේන්තුවේ හොඳට තර්ක කරන මෙයාලට අයි ගොඩක් චන්ද එකතුකරගන්ට බැරි කියල.

    උබ පොයින්ට් කරල කතා කල හැමදෙයක් ගැනම මෙයාලට හිතන්ට වෙනව.

    හැබැයි ඉතින් මහජනතාව තවදුරටත් ඇන්දෙනවද නැද්ද කියන එක ජනතාවටම බාරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ටිලාන්. එහෙම වුණොත් හොඳයි

      Delete
  11. කාලීනව වැදගත් ලිපියක් ඉයන්. මේක ලිව්වට පුද්ගලිකව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මම එහෙම කියන්නේ ජවිපෙ හරි පීල්ලෙන් තියන්න මේ වගේ බුද්ධිමත් සංවාද අවශ්‍ය නිසා. මම මෙහෙම ලිව්වම වරදවා වටහාගන්න එපා මම ජේවීපී කාරයෙක් කියල. මම මගේ මුල්ම චන්දෙ දුන්නේ චන්ද්‍රිකා කුමාරනතුංගට. එතනින් එහා මම ලංකාවේ ඉද්දි දීපු හැම චන්දයක්ම දුන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න. එතැනදී මම ශ්‍රීලංකා කාරයෙක් උනේ එවකට රට හරි පාරකට හරවන්න තිබුණු එකම විකල්පය ඒක නිසා. ඒ වෙද්දී ජවිපෙ සහ එක්සත් ජාතික පක්ෂය තම තමුන්ගේ බලපුළුවන්කාරකම් අපේ ගම්පලාත්වල සුපිරියට පෙන්නලා තිබුණු නිසා එජාප සහ ජවිපෙ කියන්නේ 1994 වෙද්දී නම කියනකොටත් ඇඟේ රෝම කෙලින් වෙන පක්ෂ දෙකක්. මහින්දගේ පාලනය එක්ක රටේ තිබ්බ ගරිල්ලා යුද්දය අවසන් උනයින් පස්සේ (මහින්ද පාක්ෂිකයින් කියන්නේ යුද්දේ ඉවර කරා කියලයි. මගේ අදහස ගරිල්ලා කොටස ඉවර කරාට ප්‍රශ්නය තාම එතනමයි කියන එකයි) මහින්දගේ ආණ්ඩුවට සුදිය වැඩි වෙලා පිස්සු නටන්න ගත්තු දා පටන් ජවිපෙ දිහාට සහයෝගයක් දියයුතු කියන මතයේ හිටියේ වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයක තිබුනේ නැති නිසා. මේ ඉහත කීව මගේ දේශපාලන මතයේ ඉතිහාසය ගැන මම යමක් ලිව්වේ ඉයන්ගේ ලිපියට ලියන්න යන කමෙන්ට් එකට කලින් මගේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න උවමනා නිසා. එහෙම නැතිනම් කමෙන්ට් එක කියවන උදවිය මා ගැන වැරදි දෘෂ්ටිවල එල්ලෙන්න පුළුවන් නිසා.

    පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ මම ලංකාවේ හිටියේ නැතත් දන්නා කියන හැමදෙනා එක්කම කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා උත්සහ කරේ ජවිපෙට චන්දයක් වැඩිපුර දම්මන්න. තිබුණු රැල්ලේ හැටියට මම ලොකු විශ්වාසයක හිටිය ජවිපෙ සැලකියයුතු ආසන සංක්‍යාවක් දිනාගනිවී කියල. ඒත් ඒක එහෙම වුනේ නැහැ. ඒ පැවැත්වුණු මැතිවරණ ගැන සහ ජවිපෙ ක්‍රියාකලාපය ගැන පසු විපරමක් කරලා බැලුවාම මට තේරුනේ ජවිපෙ එයාලගේ තියරිය මාර්කට් කරගෙන රටේ බලයට එන්න උත්සහ කරනවා විනා රටේ පවතින තියරියට අනුගත වෙලා බහුතර චන්ද බලයක් ලබාගැනීමේ උත්සාහයක යෙදෙන්නේ නැහැ කියන එක. ඒ අනුව බැලුවාම ජවිපෙ මේ යන ගමන් මාර්ගයේ රටේ බලයක් ලබාගන්නවා කියන එක තව අවුරුදු පන්සීයකටවත් වෙන්නේ නැහැ කියල හිතෙනව.

    ජවිපෙ ගැන මගේ අදහස නම් යල් පැනගිය තියරියක් සහ ලෝකයේ සහ ලංකාවේ එයාල වන්දනාමාන කරන දේශපාලන මතවාද ගොඩනගපු නායකයින් කර උඩ තියාගෙන රටේ පාලනය අල්ලන්න යාම අද කාලයට වලංගු නැහැ කියන එකයි. දියුණු රටවල දේශපාලන ජයග්‍රහණ තීරණය කරන්නේ නාහිතර බුද්ධිමත් ජනතාව උනාට අපේ ශ්‍රී ලංකාවේ දේශපාලන ජයග්‍රහණ තීරණය කරන්නේ බුද්ධුමත් නොවන බහුතරය විසින්. ඒ නිසා, රටට ආදරේනම් , රටේ දුක් විඳින ජනතාවට ආදරෙයි නම් ජවිපෙට අවන්කවම උවමනාවක් තියෙන්නේ රටේ නාස්තිය, වංචාව දූෂණය නවත්වල රට හරි මාර්ගයට අරන් යන්නනම් ජවිපෙට සිද්ද වෙනවා තමුන්ගේ යල්පැනගිය දේශපාලන තියරිය කුණු කූඩයට විසික් කරලා රටේ රටේ දේශපාලන ජයග්‍රහණය තීරණය කරන ප්‍රභලම සාධකය වෙන බුද්ද්ධිමත් නොවන බහුතරයගේ චන්දය ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලකට යන්න. ඒ වැඩ පිළිවෙල සමහර විට චන්ද දායකයින්ට බත් පැකට් එකක්. අරක්කු කාලක්, ටකරන් තහඩුවක්, සිමෙන්ති කොට්ටයක්, බයිසිකල් කටුවක් බෙදා දෙනවා වගේ බොහොම ලාමක වැඩපිළිවෙලක් වෙන්න බොහෝ දුරට ඉඩ තියේවි. ඒත් ජවිපෙ එහෙම කරන්න සූදානම් නැහැ. ජවිපෙ බලන් ඉන්නවා කවදාහරි මිනිස්සු බුද්ධිමත් වෙලා වංචාව දූෂණය තේරුම් අරගෙන එයාලට බහුතර බලය ලබාදේවි කියල. ඒත් මට දැනෙන දේ අනුවනම් තව කල්පයකටවත් ඒක වෙන්නේ නැහැ. මම මේ ගොඩනගන තර්කයට ජවිපෙ විසින් දෙන උත්තරය නම් තව අවුරුදු ලක්සේකින් හරි මිනිස්සුන්ට එයාල හරි කියල තේරෙනකම් එයාල ඉවසිල්ලෙ එයාලගේ ගමන යනවා කියන එක වේවි.. ඒත් මේ යන විදිහට මිනිස්සුන්ට ජවිපෙ හරි කියල තේරෙන දවස එද්දී ජවිපෙට හදන්න ඉන්දියන් සාගරයේ මුතු ඇටය පෘතුවි ගෝලය උඩ මේ තියන විදිහට තියේවිද කියන එක බොහොම සැක සහිතයි. මේ යන විදිහට තව අවුරුදු දාහක්අ දෙදාහක්පේ යද්දී අපේ දේසපාලුවෝ සෙට් එක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ගල්ප වැලි පස් වලට විකුනලා ඉන්දියන් සාගරයෙනුත් අතුරුදහන් කරලා තියේවි. මම ජවිපෙන් අහනවා දැනට මේකේ හොරකම් නොකරන එවුන්ටිකකට ඉන්නේ උඹල විතරයි..උඹල උඹලගේ තියරිය මාර්කට් කර කර තව කල්පයක් බලන් ඉන්නවද නැත්තම් යල්පැනපු තියරි කුණු කූඩෙට දාල ගමන වෙනස් කරලා මිනිස්සුන්ට යහපතක් කරනවද කියන ප්‍රශ්නය..

    ඉයන් ඔබට නැවතත් ස්තුතියි මේ ලිපිය ලිව්වට.. ලංකාවෙන් පිට ඉඳල අපේ රට සහ රටේ මිනිස්සු විඳින දුක් දිහා බැලුවාම දැනෙන සංවේගය අප්‍රමානයි..:(


    ReplyDelete
    Replies
    1. //මම ජවිපෙන් අහනවා දැනට මේකේ හොරකම් නොකරන එවුන්ටිකකට ඉන්නේ උඹල විතරයි..උඹල උඹලගේ තියරිය මාර්කට් කර කර තව කල්පයක් බලන් ඉන්නවද නැත්තම් යල්පැනපු තියරි කුණු කූඩෙට දාල ගමන වෙනස් කරලා මිනිස්සුන්ට යහපතක් කරනවද කියන ප්‍රශ්නය.//

      ++++++++++++++++++++++

      බොහොම ස්තූතියි අම්බලන්ගොඩ දීර්ඝ කමෙන්ට් එකට. උඹට මේ ගැන හැඟීමක් ඇතිබව පැහැදිලියි.

      Delete
    2. අම්බලන්ගොඩ ++++++++++++++++

      Delete
    3. සිරා කොමෙන්ට් එක. හැම මහින්ද පක්ෂිකයෙක්ම මේක කියනවා නම්,
      //(මහින්ද පාක්ෂිකයින් කියන්නේ යුද්දේ ඉවර කරා කියලයි. මගේ අදහස ගරිල්ලා කොටස ඉවර කරාට ප්‍රශ්නය තාම එතනමයි කියන එකයි)//

      Delete
    4. අජිත් ඔබ හරි. ඒගොල්ලො රට බෙදීමේ අවදානම අඩු කලෙත් නැහැ. ඇත්ත වශයෙන්ම වැඩිකලා. දමිල බෙදුම්වාදීන් එවන් බෙදුම් වලට උල්පන්දන් දෙන උදව් උපකාර කරන බටහිර රටවල් ඔඩොක්කුවට තල්ලු කලේත් ඔවුන්. යුධ අපරාධ ප්‍රශ්ණය යහපාලන ආණ්ඩුව නිසා නොනවතින්න එය එක්සත් ජාතීන්ගේ සුපරීක්ෂණය යටතේ පැවැත්වෙන ජන මත විචාරණයක් කරාම යනවා. දකුණු සුඩානය හැදුන වගේ.

      Delete
    5. එක්සත් ජාතීන්ගේ සුපර්‍රක්ශනයට යටත් කලයුතු තවත් බොහෝ අපරාධ එපමනට ඇති. ඒවා කතා නොකිරීම ඇජෙන්ඩාස් හැටියට මොහොතකට අමතක කරමු. අපි සුද්ධ වෙමු. මේවා පොලිටිකල් ටෝක්ස් විතරක් නොවී, මානුසික ටෝක්ස් නොවෙන්නෙත්, අපි අපිව කෝවකට දාගෙන ඉන්න නිසා. මේ ඉලව් මෝල්ඩ් එකෙන් අපි එලියට බහින්න ඕන. තුහ් විතරක් ඒවා කොහෙද අපේ අයියලා එක්ක.. ලංකාව ඇරෙන්න තව දූපත් තියෙනවද....

      Delete
  12. දැන් ඔය මහින්දට සජිත්ට දැක්මක් නෑ කියන්නේ...

    රනිල්ටයි මෛත්‍රිටයි තිබුනද...? අඩු ගානෙ තියෙනවද...?

    නෑ... හැම එකටම නෑ... හැම එකාටම තියෙන්නේ බලය ගන්න විෂන් ඇන්ඩ් මිෂන් විතරයි...

    මහා ලොකුවට ඉන්වෙස්ටර්ස්ලා ගැන කතා කරනවා... ඊයේ සාකච්ඡාවකට ආව මහාචාර්යවරයෙක් කිව්වා, එයාගේ මිතිරෙක් එක්ක බී ඌ අයි එකට ගියාම ආයෝජ්නයක් පටන් ගන්න.. ඉස්සෙල්ලම ඉඩමක් හොයගෙන එන්න කිව්වලු.. ඕන් රනිල්ලගේ විෂන්..

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙකුට මෙශින් බෙදලා රැකියා ප්‍රශ්ණය විසඳීම සහ අයෝජන කලාප හරහා අයෝජන, ඇණවුම් ලබාගෙන රැකියා ලබා දීම සහ රටට විනිමය. මේදෙකේ වෙනස සමයි මාතෙ micro management සහ macro management අතර තියෙන්නේ. කටුනායක නිදහස් වෙලඳ කලාපය ආරම්භ කරන්නත් අවුරුදු 3 ක් ගියා. ණයට අරන් ගමේ පාරෙ තාර දාන එක මාස තුණෙන් පුළුවන්. දර්ශණයක් හරහා රට කරන එක වෙන දෙයක්.

      Delete
    2. හිකෑස්... පුහ්.... විෂන් එකක් තිබුනා නම් පෝට් සිටි අත්හිටුවයිද...

      අජරාමර ගොන් කමක් කොලේ හිටන්...

      අද චීනා බටර් නැතිව අරින්නේ....

      එක ආයෝජන කලාපයක් ගැන හිතලවත් තියෙනවද...?

      Delete
    3. අත්හිටවූ පෝස්ට් සිටි එකෙන් සැකිය යුතු ප්‍රමාණයක් චීනයට අයිති වීමට තිබුණි. දැන් ඉදිවන මුල්‍ය නගරයෙන් එවැන්නක් සිදු නොවේ. කුමක් කරත් ලංකාවේ ආරක්ෂාවට සහ ඒකීය භාවය රැක ගැනීමට ඉන්දියාව සමඟ එකඟතාවයෙන් වැඩකල යුතුවේ. පෝට් සිටි එක මුල්‍ය නගරය වීමේදී එම ප්‍රශ්ණ මඟ හැරුණි. දකුණේ චීනය මඟින් කර්මාන්ත කලාපයක් ඇතිකිරීමට එකඟ වී ඇත. එයින් රැකියා විශාල ප්‍රමාණයක් ඇතිවෙයි. වැඩි පොලියට ණය අරගෙන පාඩු ලබන දේ ඇතිකරනවාට වඩා ඔවුන් ලවා ආයෝජනය කරවා ගැනීම දක්ෂ කමකි.

      මීට අමතරව ලංකාවට වැඩි විදේශ විනියමක් වැය වන ඖශධ මෙහිම නිශ්පාදනය කිරීමට කර්මාන්ත ශාලා ඇති කිරීමට විශාල් පෞද්ගලික සමාගම් කිහිපයකට අනුමැතිය දී ඇත. ඊට අමතර එන්නත් වර්ග නිපදවීමේ කර්මාන්ත ශාලා ඇති කිරීමට අනුමැතිය දී ඇත. ඒවායින් කිහිපයක් හොරණ කර්මාන්ත පුරයේ දැනටමත් ඉදිවෙමින් පවතී. බස්නාහිර පළාත් මහ නගර සංවර්ධනයට ආධාර මුදල් අනුමත වී ඇත. මැයි මස මැදදී ජී එස් පී සහනය නැවත ලැබේ. මෙයින් නැතිවුණ තරම් නොවුනද රැකියා යම් ප්‍රමාණයක් නැවත ඇතිවේ.

      Delete
    4. අර මෙහේ හදපු වොක්ස්වැගන් එකක් කීයක් ඉතර වෙනවද දන්නේ නෑ... දැන් අවුරුද්දකටත් වඩා වැඩියිනේ පටන් අරගෙන..

      Delete
  13. ජවිපෙ සටන් පාඨ ඉදිරිපත් කරන්නේ ඔවුන් නියෝජනය කරනා කොටස් වෙනුවෙනි.උදාහරන ලෙස වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය වැනි දේ. මාධ්‍ය විසින් ජවිපෙ නායකයින් කියා සමාජයට පෙන්වන කොටසට ජවිපෙ සම්බන්ධ තීරණ ගැනීම අපහසුය. මාධ්‍ය මගින් පෙන්වන නායකයින් මෙම වෙනස්කම්වලට කැමති වුවද පක්ෂය මෙහෙයවන පූර්ණ කාලීනයින්, අභ්‍යන්තර නායකයින් සමාජවාදය, විප්ලවය අතහැරීමට කැමති නොවනු ඇත. මෙම වෙනස සිදු නොවන විට ජවිපෙ ක්‍රමයෙන් ක්ෂය වී යනු ඇත.

    ReplyDelete
    Replies
    1. තව මොනවා ක්ෂය වෙන්නද බං... ඒකනේ මාතලනුත් ජෙනරල් ඉලෙක්සොන් එක වෙලාවෙ මුන්ට ඡන්දේ දුන්නේ.. උන් කවදාවත් හැදෙන සෙට් එකක් නෙමෙයි... ගල් වැද්දෝ ටිකක්... අමරදේවට නිවන් සුව පතලා තිබුනේ... විප්ලවේ කොහෙද බං නිවන්...

      Delete
    2. එහෙනම් මෙහෙමයි නිවන් සුව පතන්න ඕන
      හෙලයේ මහා ඝාන්ධර්වයා විශාරද අමරදේව මහතාට නිවන් සුව ලබාදෙනු.
      විශාරද අමරදේව මහතා ඉටුකල සේවාවට අපගේ විප්ලවීය ආචාරය
      විශාරද අමරදේව මහතාට නිවන් සුව ලබා දියව්

      Delete
    3. විශාරද අමරදේව මහතාට නිවන් සුව ලබා දියව් !!!!!!!!

      ++++++++++++++++++++

      Delete
  14. පොදු අපේක්ෂක වගේ පැලැස්තර නැතිව රටට හොඳ දැක්මක් ඇති ශක්තිමත් දේශපාලන පක්ෂයක් ඕන.. ඒත් ඒ කවුද? ඒක තමයි ප්‍රශ්නෙ...

    ReplyDelete
    Replies
    1. ජී.එල්.පීරිස්ගේ පොහොට්ටු පෙරමුණ තියෙන්නේ.

      Delete
    2. හයියෝ මේ නාකි ජීඑලා පෙන්ෂන් එක අරගෙන ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව අම්මට හැමනෙන්න හදනවද මන්දා

      Delete
    3. පොහොට්ටුව පිපෙද්දි ජී.ඇල් පැත්තක ඉඳිවී. ගෝඨාභය අගමැති වෙලා තියේවි.. අපිටත් යන්න අතක් හොයාගන්න වෙන පාටක් තියෙන්නෙ අයියේ...

      Delete
    4. tharu..ඉතාමත් ව්‍යාකූල දේශපාලන අනාගතයක් පේන්න තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ පලාත් පාලන ඡන්ද පවත්වලා රටේ පවතින ජන මතය උරගා බලන්න ඕන. ඒක දේශපාලන කාරනයක් පමනයි. මෙවන් වාතාවරනයක් තියෙන රටක තමයි ඊයේ මහරගමදි ජනාධිපති කියන්නේ අපි ශක්තිමත් කලයුත්තේ ශ්‍රිලනිපය බව කියන්නේ. ජනාධිපතිට රට ශක්තිමත් කිරීම අමතක වෙලා පක්ශය ශක්තිමත් කරන්න මතක් වුනේ ඒයා පාටි චෙයාමන් වුන දා ඉඳලා. පක්ශ දේශපාලනය තමයි මේ සියල්ලකගේම ටොප් ප්‍රයොරිටි එක. මේ පක්ශ සියල්ලකගේම ටාගට් එක එච්චරයි.

      Delete
    5. මේ පක්ෂය විශාල සැලසුමක කොටසක් විතරයි. අද මහින්ද පවුලට අවශ්‍ය කාරණා දෙකයි. එකක් දූෂණ චෝදනා යටපත් කර ගැනීම අනෙක නාමල්ට දේශපාලන අනාගතයක් සාදාදීම. මහින්ද ඇතුළු නඩය වෙනම පක්ෂයකට ගියොත් නාමල් අනාථ වෙනවා. එමනිසා ඒක වෙන්නේ නැහැ. ශිලනිපෙන් බොහෝ අය එක එක කාලවල ඉවත්වීමට පිටුපස මහින්ද හිටියත් ඔහු කවදාවත්ම ඉවත්වුණේ නැහැ. ඔහු දන්නවා ශ්‍රිලනිපය නැතුව ඔවුන්ට කිසි අනාගතයක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලින් ඡන්ද පදනමක් හදා ගෙන බලපෑම් කිරීම හෝ එය පෙන්නා නිදහස් පක්ෂයෙන් තමන්ට ඕනෑ දේ කර ගැනීම පමණයි ඔවුන්ට අවශ්‍ය වන්නේ.

      Delete
    6. කෝ .. blog "සරණට" මේවා තේරෙන්නේ නැහෙනේ. නැට්ට වන වන ඉන්නවා මිසක්...

      Delete
  15. ඇත්ත යල්පිනු ප්‍රතිපත්ති එක්ක ඉදිරියට යන්න බැහැ ජවිපෙට.ඒ ප්‍රතිපත්ති එක්ක ජවිපෙ හැමදාම එතනමයි.හැබැයි ජවිපෙට පසුගිය කාලයේ චෝදනාවක් එහෙමත් අවානේ දක්ෂිණාංශික පැත්තට ගමන බරයි කියලා.එකේ එක ප්‍රතිපලයක්නේ "පෙරටුගාමී සමාජවාදී පක්ෂය"

    ReplyDelete
    Replies
    1. මනෝජ් ඇත්තටම ඔබ හරි. ජවිපෙ මේවගේ වෙනස් වුණත් පෙරටුගාමීන් හරි තව කොට්ඨාශයක් පරණ ජවිපෙ ලෙස කැඩී ගිහින් පෙනී හිටියි. ඒ වුණාට අදට දේශීය තලයේ දන්නා ජවිපෙ දේශපාලකයින්ට වමට නැඹුරු මැද මාවතක පක්ශය ගෙනිහින් වැඩි දෙනෙඋකුට ඒක ආකර්ශණය විය හැකි පක්ෂයක් කරන්න පුළුවන්.

      Delete
  16. ඉයන් හොඳයි දැන් ඔයා කියන විධිහට උනුත් හොරු මුනුත් හොරු කියා කියා ඉන්නේ නැතිව සමාජවාදය අයින් කරලා ජවිපෙ මැද පිළිවෙතට ආව කියමු. දිනුවා කියමු. ජවිපෙ සහෝදර මන්ත්රිලා හොරකම් නොකර ප්‍රතිපාදන ඔක්කොම වලින් වැඩ කරයිද? නැත්නම් කොන්ත්‍රාත් කාරයන්ගේ කොම්පැණි වල කොමිෂන් වලට යට වෙයිද ?

    ReplyDelete
    Replies
    1. අජිත් දේශපාලනයේ ඉන්න අය අතර සාපේක්ෂව හොඳ මිසක හොඳම අය හොයන්න නම් බැරි වෙයි. ඒවගේ අය 89/89 කාලයේ අයින් වුනා. අදටත් ඉන්නේ කීප දෙනයි. සමාජවාදය මතම බලය ගත්තු වෙන රටවල නායකයින් කොතරම් හොරකම් කරාද? මේකෙන් කියන්න අදහස් කරන්නේ මේතියෙන අවස්ථාවේ ජවිපෙට වැඩි බලයක් ගන්න කෙරෙන්න ඕන වෙනස්කම් පමණයි. එතනින් එහාට තීරණය මහජනතාව අතේ. අපි අවංකයි කියන එක මතම ඊලඟ මට්ටමට යන්න බැහැ කියන එක කියන්න විතරයි උත්සාහ කලේ. මාව උදාහරණයකට ගත්තොත් රනිල් ගෙන් පසුව වුණත් ජවිපෙට ඡ්න්දය දෙන එකක් නැහැ. ඒවෙලාවෙදි ඉන්න හොඳ මිනිහෙක් දෙන්නෙක් ඉන්න පක්ෂයට දීල ඒ අයට මනාප දෙන්න චන්දෙ පාවිච්චි කරයි.

      Delete
  17. දක්ෂ නායකයෙක් නැතිකම අනිත් හැම පක්ෂෙකටම වගේ ජවිපෙටත් පොදු සාධකයක් මේ දවස්වල... මේ යන විධිහටනම් ජවිපෙ මලාට ආණ්ඩු බලය ගන්නෙ නෑ...

    ඔය ඉයන් යෝජනා කරණ දේවල් ගැන උන් හිතන්නෙවත් නෑ...වෙනස් වෙන්න මාර බය කට්ටියක් තමා ජවිපේ කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. එකඟයි සෙන්නා. වෙනස් නොවුනොත් අනික් අයගේ වැරදි පෙන්න පෙන්න ඉන්න එකෙන් එහාට යන්න වෙන්නේ නැහැ.

      Delete
  18. ඔය හින්දද දන්නෑ ඇමරිකාව තාමත් ද්වීපක්ෂ ක්‍රමය තියාගෙන ඉන්නේ................. බහුපක්ෂ ක්‍රමයක් තිබුණා කියලා තුන්වෙනි පක්ෂයට බලය ගන්න බැරි එකේ ඒක මොකට ද කියලා වෙන්ටෑ........

    ReplyDelete
    Replies
    1. එක්සත් ජනපදයේ පක්ෂ දෙකකට වඩා තිබෙන බවයි මගේ හැඟීම. මෙවර ජනාධිපතිවරණයට ක්ලින්ටන් සහ ට්‍රම්ප් හැරුණු කොට තව දෙදෙනෙක් තරඟ කරනවා.

      Delete
  19. ගිලෙන්න ඉන්න එකා තණ ගහෙත් එල්ලෙනවා වගේ JVP එක එකම සරණ විය

    ReplyDelete
    Replies
    1. නොතේරේ. ඔබ කියන්නේ එජාපය අද හෙට ගිලෙයි කියානම් එය වෙන්නේ නැත. රනිල් ගෙන් පසු දෙකඩ කැඩීමේ අවදානමක් ඇත. එහෙත් සමහර එජාප දේශපාලකයින් ජේ වී පී එකට සම්බන්ධ වීම අතිශයින් සැක සහිතයි. ඔවුන් වෙනම පක්ෂයක් වීමට ඉඩ ඇත.

      මේ පෝස්ට් එකේ ලිව්වේ ජේ වී පී එකට අනාගතයක් ලබා ගන්නා හැටි මිස දැනට එයට සම්බන්ධ නොවූ අයට අනාගතයක් ගැන නොවේ. සමාන‍ය මහජනායට ජවිපෙ බලයට පත්කිරීමට බියක් නැති තැනක් කරන්නේ කෙසේද යන්නයි මේ ලිපියේ අරමුණ.

      Delete
  20. අපි කැමති වුනත් නැතිවුනත් ඉයන්, මේ යන විදියට ගියොත් 2020 දී හෝ එහෙමත් නැතිනම් ඊටත් කලින් ගෝටාභය බලයට එන හැඩක් තමයි පේන්න තියෙන්නෙ. බුද්ධිමත් සිංහල ඉහල සහ පහල මධ්‍යම පන්තික ජනතාව අතරෙ දැන් දැන් ඔහුට විශාල අවකාශයක් විවර වෙනවා "ශක්තිමත් සහ දක්ෂ නායකයෙක්" කියන පදනමින්. අනෙක් සිංහල ජනතාව අතරෙ ඔහුට කොහොමත් විශාල තැනක් හිමියි. ලංකාවෙ ධනේශ්වරයේ බොහොමයක් ජාති භේදයකින් තොරව ව්‍යාපාරික මනසකින් හිතනවිට ඔහුට විරුද්ධ නැහැ. සුළුතර ප්‍රජාවන්ගේ බුද්ධිමත් ඉහල සහ පහල මධ්‍යම පන්තික කොටස් වලින් යම් සැලකිය යුතු ප්‍රතිශතයක් ඔහුට දිනාගත හැකිනම් (දැනටමත් ඔහු සියුම් ලෙස සුළුතර ප්‍රජාවන්ගේ බුද්ධිමත් ඉහල මධ්‍යම පන්තිය සමග යම් සාකච්චාවක නිරත වෙනවා) ඔහු දැවැන්ත බහුතරයකින් බලයට පත්වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි. නමුත් ඔහු කරන්නෙත් ශක්තිමත් හා දක්ෂ ආකාරයෙන් මේ ක්‍රමය මෙහෙයවීම විතරයි. නමුත් ඉයන් පුද්ගල සාධකයන්ට වඩා මම දකින්නේ මේ සියල්ල පවතින ක්‍රමයේ අනිවාර්ය ප්‍රතිපල.

    දැන් බලන්න මහ බැංකුවේ ප්‍රථමික ගනුදෙනුකරුවන්ගෙන් (මට මතක විදියට 13ක් හෝ 14ක්) අතරින් ලංකා බැංකුව, මහජන බැංකුව, NSB Fund රජයේ. අනෙක් ප්‍රාථමික ගනුදෙනුකරුවන් වන සමහර බැංකු වලත් රජය කොටස් හිමියෙක් (මට මතක විදියට එක බැංකුවක් Commercial Bank). EPF සහ ETF තියෙන්නෙ රජයේ පාලනයේ. මුදල් ඉල්ලන මහා භාණ්ඩාගාරයත් මුදල් හොයන මහ බැංකුවත් රජයේ පාලනයේ. ඉතින් ඉයන් මේ ක්‍රමය තියෙද්දී හොරු නොවන මිනිස්සුත් හොරු වෙනවනෙ. හැමෝම පෘථග්ජනයිනේ. ඇයි මේගොල්ලො මේ ක්‍රමය වෙනස් කරන්නේ නැත්තේ. මෛයිත්‍රීපාල මේ ගැන සියුම්ව වටහාගන්න පුළුවන් බුද්ධිමතෙක් නෙමෙයි. රනිල්ට ඒ හැකියාව තිබුනත් ක්‍රමය වෙනස්කිරීම උවමනාවෙන්ම මග හරිනවා.

    එක උදාහරණයක් කියන්නම්. මම ශිරාණි බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කළ විදියටත්, අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්කළ විදියටත්, පාර්ලිමෙන්තුවේ "නඩු අහල" ගෙදර ඇරිය විදියටත්, නැවත පත්කරල එක දවසින් විශ්‍රාම යවපු විදියටත් විරුද්ධයි. දැන් බලන්න ඉයන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයේදී ඉහල අධිකරණවලට විනිශ්චයකාරයන් පත්කිරීමට "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහා නිරිදේශය" අවශ්‍යය කියන ඇස්බැන්දුම දාල "පාර්ලිමේන්තුවේ නඩු" අහන සහ "දෝෂාභියෝග" කෑල්ල එහෙමම තියා ගත්ත.

    ඉතින් එකෙන් පැහැදිලියි ඔය කවුරුත් අන්ත අවස්ථාවාදීන් බව. මේ ක්‍රමය තුළ ගෝටාභයත් එච්චරයි. ඊලඟට කවුරු බලයට ආවත් ඊට කලින් "ශක්තිමත් සාධාරණ සහ යුක්තිසහගත ක්‍රමයක්" හදා ගත්තොත් විතරයි ගැලවීමක් තියෙන්නෙ. හැබැයි කිසිම පාලකයෙක් මේකට එකඟ වෙයිද?

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය අනාගතයේ පාලනයට එයිද කියන එක ගැන මට කියන්න බැහැ. එහෙත් ඔහු කරපු හැම දෙයක්ම කලේ කාටවත් අහියෝග කල නොහැකිවූ සහ පාලනයක් නොවූ බලයක් සමඟ. එවන් බලයක් තිබෙ නම් ලංකාවේ තව බොහෝ දෙනෙකුට ඔහු කල දේ කරන්න පුළුවන්. ඔහුඑ ඒ දේවල් කලේ දැඩි මුරන්ඩු කමින්. එවන් නායකයෙක් බුද්ධිමතුන් බලාපොරොත්තු වෙනවනම් ඒක ඔවුන්ගේ වැඩක්. අනික රාජපක්ෂ රෙජීමය එපාවූ අයට එය එපාවුණේ ඔහුත් සමඟ. එබැවින් එයට විරුද්ධවූ අය නැවත ඔහු බලයට පත් කරනවා යැයි සිතන්න බැහැ. අනික ඔහුට ශ්‍රිලනිප නායකත්වය හෝ නාමයෝජනා ලබා ගතයුතුයි. සිරිසේන අද පවතින තත්ත්වය ජයගැනීමට ඔහුව යොදාගැනීම දකින්නට ලැබුණත් ඒ අවස්ථාවේදී නාම යෝජනා ඔහුට දේවිද කියන එක වෙනම ප්‍රශ්ණයක්. මෙතෙන්දි පිළිතුරු කමෙන්ට් එකක් දැම්මත් ඔබගේ කමෙන්ට් එක මාතෘකාවට අදාල නැහැ. එම නිසා ඔබ ඒ ගැන පෝස්ට් එකක් ලියන්න.

      ඔබගේ කමෙන්ට් එකේ ඉතිරි හරිය ගැන කියන්න තියෙන්නේ මෙම ආයතන පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කරන බව ඔවුන් කීවා. එය තවම වී නැහැ. වෙනකන් විශ්වාසයක් නැහැ.

      Delete
    2. පිළිතුරට ස්තුතියි ඉයන්. මගේ කමෙන්ටුව ඔබගේ පෝස්ටුවට ඍජුව අදාල නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතයට අදාලයි. ගෝඨාභය සියලු දේ කළේ ලොකු බලයක් ඇතුව. නමුත් ඉයන් බලය තිබුනටම බොහෝ දේ කළ නොහැකියි. මම හිතන්නෙ skills, knowledge and attitude එක්ක action තියෙන්න ඕනා. රනිල්ට මුල් දේවල් තුනම තිබුනත් අවසාන දේ නම් මාස 22 - 23 ක් වෙලත් තාමනම් දකින්න නැහැ. මම හිතන විදියට රනිල් අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට සීමා වෙලා ඉරාන් වික්‍රමරත්න වගේ පළපුරුදු සහ යහපත් පුද්ගලයකුට ආර්ථික ප්‍රතිසංස්කරණ භාරදෙන්න ඕන. ඔහු අප විදුහලේ ඔබගේ සමකාලීනයෙක්ද?

      Delete
    3. ඔහුගේ වයස මම දන්නේ නැහැ. මම හිතන්නේ ඔහු මට වඩා වැඩිමල්.

      Delete
  21. ඉයන් . මම දේශපාලනය හදාරා නැති මම මේ කියන දෙයෙහි හිල් ගොඩක් ඇති .

    ඒත් , සමාජයක විවිධ මත නිරුපණය කරන පක්ෂ තිබිය යුත්තේද . ඔවුන් තම මත , ප්‍රතිපත්ති ලිහිල් කර , බලය ලබා ගැනීම සඳහාම , මැදට ආ නොයුත්තේද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාම නොවේද .

    ReplyDelete
    Replies
    1. ඔබ හරි . මම ඔවුන් මෙය කල යුතු යැයි කියන්නේ නැහැ. කරන නොකරන එක ඒ ගොල්ලන්ගේ වැඩක්. නමුත් මාක්ස්වාදය හරහා ඔවුන්ට බලය ගන්න හෝ වඩා ශක්තිමත් වෙන්න බැහැ. එමනිසා අනික් පක්ෂ පමණක් මාරුවෙන් මාරුවට ජයග්‍රහණය කරයි. ඒ හැම දෙනාගේම අවංක භාවය ගැන ප්‍රශ්ණ තියෙනවා. එම නිසා සාපේෂව වඩා අවංක ජෙ වී පියට බලය යන එක මහජනයාට හොඳයි. හැබැයි ඔවුන් රට මාක්ස්වාදය කරා ගෙනයන්නේ නැත්නම්. එමෙන්ම මම කිව්වෙ මේක ඔවුන්ට අවස්ථාවක්. එපමණයි. ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඔවුන් තවදුරටත් මාක්ස්වාදීව සිටින එක හොඳ නම් එය වෙයි.

      Delete
  22. ය(ජ)හපාලන සගයිනි,

    දිවංගත අමරදෙවයන් ද කෑ බිව් මිනිසෙකි.

    වත්මනෙහි සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජයෙහි අළෙවිවන පරිමාවෙන් මිලි ලීටර සත්සිය පනසක් (750 ml) වූ බෝතලයක වන “ගල්” යන අවියත් පදයෙන් හැඳින්වෙන “අති විසෙස්” මත්පැන සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල එක්දහස් සාරසිය සතලිසකි (රු.1,440.00 කි). මිලි ලීටරයක මිල රුපියල් එකකුත් සත අනූ දෙකකි (01 ml = රු.1.92 කි.).

    දුම්කොළ අඩංගු කොටසෙහි දිග මිලි මීටර පනස් පසක් (55 mm) වන “රන්පත්” දුම්වැටියක් සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල පනසකි (රු.50.00 කි). එනම් මිලි මීටරයක මිල ශත අනූ එකක් පමණය (01mm = රු 0.91 කි.).

    මේ නම් රට නැගුමට මුදල් සෙවුම පිණිස “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” විසින් නිමවන ලද මනරම් “අර්ථ සත් නයක්” හෙවත් ආර්ථික ශාස්ත්‍ර/විද්‍යා න්‍යායයකි. මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” අබිමුව නිසැකව අර්ථ සත් නය පිළිබඳ වෙසරද ඇඩම් ස්මිත්හු සහ මාක්ස්හු පවා පසුබාති. එසේම වසර දෙදහස් දහසය සඳහා වන “අර්ථ සත” හෙවත් ආර්ථික ශාස්ත්‍රය/විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” වෙත ලබන වසරේදීවත් පිරිනැමෙනු නිසැකය.

    ය(ජ)හපාලන සගයිනි, මේ දෙබාන වෙත නිසැකව ලැබෙන බුහුමනින් තොප මෙන්ම රටද අමන්දානන්දයට පත්විය යුතුමය. එබැවින් අවම ලෙස අට දෙනකුවත් එකතුව “අති විසෙස්” මත්පැන් බෝතලයක් සහ “රන්පත්” දුම්වැටි අටක් සඳහා මුදලින් සම්මාදම්ව මේ දෙබානෙහි මව් පියන් ද සිහිපත් කරමින් මේ සතුට දැන්ම සැමරුව මනාය. කටගැස්මට අඩුම මිලැති “චිප් අල” (potato chips) වැනි දෑ නොසෙව්ව මනාය. මක්නිසාද යත් දුරුතු මස අටවැනි දින බැස්ම ඇරඹි “ය(ජ)හපාලන විප් - අල” දැන් නොමිලේම ලැබෙන බැවිනි.

    ය(ජ)හපාලන සගයිනි, සාදය ලබන වසරට කල් දැමීම නොමනාය. මක්නිසාද ලබන වසර වනවිට කටගැස්මට පමණක් නොව තුන් වේලටම කන්න ලැබෙන්නේ පානුයි ලුකයි බව පෙනෙන බැවිනි. එය නිසැකව කට කැස්මට නම් හේතුවේ.

    අවසන මා වැනිම කා බිව් දිවංගත “සිතුම් ජයසෙනයන්” උපුටා දක්වමි.

    “ඇත්තෝ කති බොති සුඛති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.”

    - මයුරවිල මි.

    පසු ලියුම : අප හා ඇතැම් තැන්හි සම අදහසෙක නැතත් මේ පිළිබඳව පළමුව ලියු මාතලනුන්ට තුති පුදමි. ඉයනයන් වෙතින් ඉදිරිපත් කරුණට අදාළ කමෙන්ටුවක් නොවන නිසා උන් වෙතින් සමාව අයදිමි.

    ReplyDelete
  23. කියෙව්වෙමි. මගේ කියවීම අනුව, රනිල් කියන්නේ උදාසීන නායකයෙක්. ඔහුගෙන් කිසිම සුභවාදී වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.

    මා අසා තියෙන කථාවක්:
    දවසක් ජේ.ආර් තව ප්‍රසිද්ධ දේශපාලඥයෙක් එක්ක ඉස්තෝප්පුවේ කතා කර,කර ඉන්න කොට ඉතා "පියකරු" තරුණයෙක් එතනින් ගේ ඇතුලට ගිහින් මියුරු හඩින් පියානෝව වයන්න ගත්තලු.

    ජේ.ආර් කිව්වලු " ඒ ගියේ මගේ බෑනා, බලනවකො මිනිහට හොඳ ආසනයක් "
    එතකොට රනිල් ගේ ඇතුලෙ ඉඳන් කිව්වලු " leave me alone uncle, politics is not for me" කියලා.
    The rest is history :)

    ReplyDelete
    Replies
    1. ජේ.ආර් ගෙන් පස්සෙ, නායක කමට හිටිය එකම සුදුස්සා ලලිත් ඇතුලත්මුදලි. එයාව කොටියා කෑවා.

      Delete
    2. බොහොම ස්තූතියි බස්සා. ජේ ආර් ගෙන් පස්සේ නායකත්වයට සුදුසු දෙන්නෙක් හිටියා. ඒ ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි. ඒ වුණාට අගමැති තනතුර සහ නියෝජ්‍ය නායක තනතුර හොබවපු ප්‍රේමදාසට පහල මට්ටම් වල සහයෝගය වැඩිපුර තිබුණා. ගාමිණී සහ ලලිත් බෝම්බ වලට ගොදුරු වුණේ ඔවුන්ට එජාප නායකත්වය අහිමි වෙලා අවුරුදු 4-5 කට පසුව.

      රනිල් ගේ ඔබ කියන උදාසීනත්වය සසඳන්නේ කා සමඟද? උදාහරණයකට මහින්දව ගමු. දවස තිස්සේ බීමත්ව සිටින ඔහු සහෝදරයන්ට, බිරිඳට සහ දරුවන්ට ඕනම දෙයක් කරන්න ඉඩ දී සිටියා. ඔහු පෙනී සිටියේ රූපවාහිනියට, මහජන රැස්වීම් වලට, කැබිනට් රැස්වීම් වලට, සහ පක්ෂයේ ඉහල අය මල්ලිලාට අඩංගු නැතිකොට තර්ජනය කරන්න පමණයි. ඔහුම වරක් කී පරිදි ඔහුගේ කාර්‍යය චන්දය දිනා දීම පමණයි.

      රනිල් කියන්නෙ traditional දේශපාලකයෙක්. ඔහු විශාල ලෙස පොත් සහ පුවත්පත් කියවනවා. ඕනෑම දේශීය විදේශීය නායකයෙක් සමඟ කොලයක් නොබලා, අන් අයගේ සහයෝගය නැතිව සාකච්චා කරන්න පුළුවන්. ඒනිසාම ජාත්‍යන්තර තලයේ ඉහල පිළිගැනීමක් තියෙනවා. බොහෝ අංශ ගැන කියවා තියෙනවා. ඉංග්‍රීසි සහ සිංහල සාහිත්‍ය ගැන උගතෙක්. එමෙන්ම සියළුම පාර්ලිමේන්තු සැසි වලට සහභාගී වෙනවා. ඕනෑම දෙයක් කරන්නේ කීප දෙනෙකු සමන්විත කොමිටියක් ඒ ගැන හදාරා recomendations ඉදිරිපත් කල විට. එම නිසා ප්‍රශ්ණ විසඳෙන්න කල් යන බව පෙනෙන්නේ ණය ගෙන මුදල් කාබාසිනියා වෙන දේවලට නොයන නිසා. එකම වෙනස ජේ ආර්ට ගාමිණී, ලලිත්, ප්‍රේමදාස අය මෙන් සහ මහින්දට බැසිල් හොරා සහ ගෝඨාභය මෙන් අය රනිල්ට නොමැතිකම.

      Delete
    3. පාක්ෂිකයෙක් ලෙස ඔබ රනිල්ව බේරාගැනීම ගැන මට තේරුම්ගත හැකියි. මා කතාකරන්නේ "වෙනසක්" ගැනයි. විවේචන තිබුනත් ජේ.ආර්.,ප්‍රේමදාස, මහින්ද තම පාලන කාලය තුල යමක් කලා. රනිල්ගේ දීර්ඝ නායකත්වය තුල ඔහු කර ඇති එකම දේ එක අපකීර්තියට පත් කිරීම පමණයි. මේ පළමු වතාව නොවේ, මතක ඇති නෙව , ප්‍රාභාට පිස්තෝල තෑගී කරපු අවස්තාව.

      ලලිත්, ගාමිණි දෙන්නව සමාන කරනවට මම අකැමැතියි. ගාමිණි දිසානායක හිටියා නම් තවත් මහින්ද කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ඔක්කොම එයාට තිබුණා.මේ ලිපියෙන් මට හැඟුනේ, වයංගයෙන් දක්වන ඔබේ කලකිරීම.

      රනිල්ගෙන් සහ ජෙප්පොන්ගෙන් වෙනසක් බලාපොරොත්තුවීම, මට අනුව නම් "ඉබ්බන්ගෙන් පිහාටු " ඉල්ලීමක්.

      Delete
    4. ///// ගාමිණි දිසානායක හිටියා නම් තවත් මහින්ද කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ඔක්කොම එයාට තිබුණා.//////

      මේ කතාව හරි. එහෙම ගති තමයි තිබුනේ.

      මහින්ද කෙනෙක් වීම තමයි වර්තමාන සහ අනාගත රාජ්‍ය නායකයෙකුගේ රාජ්‍ය තන්ත්‍රික මෙහෙයුම සහ ජීවන රටාව විය යුත්තේ කියලා නම් අනාගත දේසපාලන කුරුම්බා ඈට්ටි හිතාගෙන ඉන්නේ, ඒක ලොකු විනාසයක් සහ අපරාධයක්. එහෙම කුරුම්බා ඇට්ටි තමයි මහින්ද දෙවැනි පෙල ලෙස ගොඩ නැගුවේ. ඕක ප්‍රේමදාස කාලේ ඉඳන් එන ප්‍රශ්නයක්. නැහැ බං නිදහසෙන් පස්සේ ඉඳන් එන එකක්. මට වඩා හොඳ කෙනෙක් නෙමේ හදන්න ඕන , මට කීකරු බළල් පැටියෙක්. ඕක තමයි ඔය ඔක්කොම කරේ.

      Delete
    5. //මේ ලිපියෙන් මට හැඟුනේ, වයංගයෙන් දක්වන ඔබේ කලකිරීම. රනිල්ගෙන් සහ ජෙප්පොන්ගෙන් වෙනසක් බලාපොරොත්තුවීම, මට අනුව නම් "ඉබ්බන්ගෙන් පිහාටු " ඉල්ලීමක්//

      බොහොම ස්තූතියි බස්සා. ඔබ නිවැරදි නැහැ. මීට මාස කිහිපයකට උඩදී පැරාගෙ බ්ලොග් එකේ සාකච්චාවකදී මම කිව්වා ජවිපෙ බ්‍රිතාන්‍ය ලේබර් පාටි එක මෙන් වෙන්ස් විය යුතුයි කියල ඔවුන්ගේම රජයක් කවදාහරි හදන්නනම්. ඔවුන් බැඳුම්කර පරීක්ෂණ වලදී පෑ බොලඳ හැසිරීම නිසා එය මතක් වුණා. ඒකය් මේ පෝස්ට් එකට හේතුව.

      අරුණ මගේ අදහසත් මීට සමානයි. මහින්ද වැනි අසීමිත ආර්ත්මාර්ථකාමියෙකු ගේ බල ලෝභයට පින්සිද්ද වෙන්න යුද්ධය ඉවරයක් වුණ එක හොඳයි. එහෙත් නැවත කිසිම කලෙක කිසිම පක්ෂයකින් එවැනි ආත්මාර්ථකාමියෙක් බලයට පත් නොවේවා කියන එක තමයි මගේ පැතුම.

      ජවිපෙ සහ කොටි නිසා හොඳ පුද්ගලයන් දේශපාලනයට ඒම නැවතුනා. දැවත් තරුණ උගතුන්, බුද්ධිමතුන් දේශපාලනයට ආයුතුයි. රටෙන් හොයන එක වෙනුවට තමන්ගේ දේවල් රටට තබා ගිය කොතලාවල, ජේ ආර් වැන්නවුන් ඉදිරියටවත් දේශපාලනයට ආයුතුයි.

      Delete
  24. ඉයන්,

    ජවිපෙ අනාගතය ගැන කරදර වෙන්න එපා. ඒක චන්ද දායකයො තීරණය කරයි. බැඳුම්කර මගඩිය පිළිබඳව මුළු කෝප් කමිටුවම එකඟවුණු නිගමන සහ නිර්දේශ ගැන ලියන්න. මේ වෙලාවේ දැවෙන ප්‍රශ්නෙ ජවිපෙ අනාගතය නෙමෙයිනෙ.

    රනිල් දේශපාලනිකව සියදිවි නසාගෙන ඉවරයි.

    "මීට මාස කිහිපයකට උඩදී පැරාගෙ බ්ලොග් එකේ සාකච්චාවකදී මම කිව්වා ජවිපෙ බ්‍රිතාන්‍ය ලේබර් පාටි එක මෙන් වෙන්ස් විය යුතුයි කියල ඔවුන්ගේම රජයක් කවදාහරි හදන්නනම්. ඔවුන් බැඳුම්කර පරීක්ෂණ වලදී පෑ බොලඳ හැසිරීම නිසා එය මතක් වුණා. ඒකය් මේ පෝස්ට් එකට හේතුව."

    ගිරවෙක් වෙන්නේ නැතුව කියන්නකෝ බැඳුම්කර සිද්ධියේදී වංචාවක් හෝ දූෂණයක් නොවිච්ච විදිය.

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමා බොහොම ස්තූතියි.

      Delete
  25. අමාරු කරනවා නේද එයාලා බලය ගන්නවා කියන එක...

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලො ඒක අමාරු කරගන්නවා කියලයි මට හිතෙන්නෙ. විශාල රටවල මාක්ස්වාදී පක්ෂ 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව වුනු වෙනස් වීම් වලට අනුගත වෙලා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරගෙන බලයට පත්වුණා. මොවුන් 1991 ට පෙර රාමුවේ හිරවී සිටිනවා.

      Delete