Friday, August 5, 2016

වැටෙන් එහා පැත්තේ කොල පාට තණකොල

වැටෙන් එහා පැත්තේ තණකොල කොල පාටයි කියල කියමනක් අපි නිතර පාවිච්චි කරනවා නේ. ඒකෙන් විස්තර වෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක්. අද අපට තියෙන දේවල් වලට වඩා අනික් අයට තියෙන අපිට නැති දේවල් ලබා ගැනීමට ඇති ආසාව අපිව බොහෝ දුරට ඒ දේවල් හොයාගෙන යන්න පෙලඹවනවා. අපිට අද තියෙන දේවල් නැති කරගෙන ඒ පෙලඹවීම් හඹා යාමටත් අපි සමහරු මැලිවෙන්නේ නැහැ. බටහිර රටවලට සංක්‍රමණය කිරීමට සමහර අය දරණ උත්සාහය මේ සංසිද්ධිය මොනවට කියාපාන අවස්ථාවක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ඒ රටකට සංක්‍රමණය වුණොත් අපේ තිබෙන ඔක්කොම ප්‍රශ්ණ විසඳෙනව කියල. බොහෝ සංක්‍රමණිකයන්ගේ මම දැකපු පොදු සාධකයක් තමයි සංක්‍රමණය වන පරම්පරාව බොහෝ ප්‍රශ්ණ වලට මුහුණ දීමත් දෙවන පරම්පරාව ඊට වඩා හොඳින් එම රටවල් වලට අනුගත වීමත්. 

මගේ වෘත්තියත් ඒකාලේ බොහොම ලේසියෙන් සංක්‍රමණය වෙන්න හැකියාවක් තිබුණ එකක්. ඒ කාලේ ලංකාවේ රැකියාවකින් ලබා ගත ගැකි අදායමට වඩා අදායමක් විදේශ රටක ලබා ගන්න හැකි වුණත් මට ඒ ගැන වුවමණාවක් තිබුණේ නැහැ. ඊට ප්‍රධානම හේතුව වුනේ මා සමඟ උගත් අය ඒ රටවල් ගිහින් ගත කරපු ජීවිත ගැන දැන ගැනීම. ආදායම වැඩි වුණත් වියදමත් ඒවගේම ඉහල නිසා අතේ ඉතිරිවෙන ගණන එක්කෝ එක සමානයි නැත්නම් මෙහෙදී වැඩියි. ඒකට හේතුව කොලඹ පදිංචි පවුලක ඉපදුන නිසා ගෙවල් කුලී ගෙවීමට සිදු නොවීමත් විවාහයට පෙර බැවින් තව බොහෝ දේවල් නොමිලයේ ලැබීමත් විතරක් නෙමෙයි අනික් වියදමුත් පඩියෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් වීම.  ලංකාවේ පෞද්ගලික අංශයේ රැකියාවල යම් මට්ටමකින් ඉහලට යන විට  වාහනයක් ලබාදීම, ඉන්ධන ලබා දීම සාමාන්‍ය දෙයක්. තවත් ඉහලට යන කොට රියැදුරන් පවා ලැබෙනවා. සමහර අයට වාහන දෙකක් වුණත් ලැබෙනවා. එම රටවල  බොහෝ තනතුරු වලට වාහන හෝ ඉන්ධන ලැබෙන්නේ නැහැ. රියැදුරන් නම් කොහොමත් ලැබෙන්නේ නැහැ. මේ ඔක්කොම එක්ක දෙමව්පියන්, ඥාතීන්, විවිධ සමාජ වල හමුවූ මිතුරන් ආදිය    නිතර හමුවෙමින් ලංකාවේ පළමු පෙළ පුරවැසියන් වගේ ගෙවන ජීවිතය වැදගත් වුණත් ඒකට මුල්‍යමය වටිනාකමක් දාන්න බැහැ.

ලංකාවේ යුද්ධය පැවතිකාලයේ නම් සංක්‍රමණයට යම්කිසි හේතුවක් තිබුණා. මමත් ඒකාලයේ නිවාඩු පිට සංක්‍රමණය කර ළමුන්ට විදේශ පුරවැසිකම් ලබා දුන්නා. එහෙම කිරීමේදී මෙහි රැකියාව තබාගෙනම එය කිරීමට හැකියාව ලැබීමට වාසනාවන්ත වුණා. ආපසු යන අදහසින් ගිය කෙනෙකු නිසා ස්ථීර පදිංචියටම පැමිණි අයගේ ජීවිත නිරීක්ෂණය කරන්න හැකි පසුබිමක මම හිටියා. ඔබටත් එලෙස කිරීමට හැකියාවක් තිබෙනවානම් කළ යුත්තේ එයයි. මෙය දැන් අපහසු වන්නේ පුරවැසි භාවය ලබා ගැනීමට  සමහර රටවල සිටිය යුතු කාලය පසුගිය කාලයේ වැඩි කිරීම නිසා.

නිත්‍යානුකූලව සංක්‍රමණය වන බොහෝ දෙනෙක් පසුගිය දශක කිහිපය තුල ගියේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, එංගලන්තය වගේ රටවල් වලට. ලොතරැයි හෝ පවුල් එකතුවීමේ ක්‍රම මඟින් සමහරක් ඇමෙරිකාවටත් සංක්‍රමණය වුණා. සමහර අය ශිෂ්‍යත්ව හෝ පුහුණුව හෝ පිටරට උපාධි ලබා ගන්න ගිහින් එම රටවල් නවතින ක්‍රමයකුත් තියෙනවා. තවත් සමහර අය ඉතාලිය, ජපානය, කොරියාව වගේ රටවලට ගිහින් කාලයක් එහි රැකියා කිරීමෙන් පසු එම රටවල ස්ථීර පදිංචිය ලබා ගන්නවා. තවත් සමහරක් හොර මාර්ග වලින් හෝ සංචාරක වීසා මඟින් එම රටවලට ගොස් නෑවිත් සිටිනවා.   

හොර මාර්ග වලින් හෝ නිත්‍යානුකූල නොවන මාර්ග වලින් ගිහින් ඉන්න අය ජීවත් වීමට දරණ උත්සාහය දුටුවාම සහ ඔවුන් සමහරක් ජීවත් වෙන ආකාරය දුටුවාම මට හිතෙන්නේ ඔවුන් කලින් ආත්මයේ කරපු පාප කර්ම ගෙවනවා කියලයි. ඔවුන් යම් තත්ත්වයක ඒමට ඒ කරන කැපකිරීම සහ කන පරිප්පුව මේ රටේදී කරනවා නම් ඔවුන්ට මෙහෙත් ඉහලට එන්න පුළුවන්. ඔවුන් එම  රටවල කරන රැකියා වලට මෙහෙදී නම් කිසිවිටකවත් ඔවුන් ඇතුලත් වෙන්න හිතන්නේ වත් නැහැ. ඔවුන් සමහරක් එම රටවල් වලදී විඳින දුක මෙහෙ අයට කියන්නේ නැහැ. මෙහෙ ආවිට ඔවුන් පෙනී හිටින්නේ සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන කට්ටිය වගේ.

සමහර නිත්‍යානුකූල මාර්ග වලින් ගිය අයත් මුල් කාලවල පොඩි පොඩි රැකියා එකක් හෝ කිහිපයක් කරනවා. අද ලොකු රැකියාවක් කරන මගේ මිතුරෙක් එහි ගිය කාලයේ සුපර් මාකට් එකක ඔහුට කරන්න සිදුවුණ වැඩ ගැන ලස්සන කථාවක් කිව්වා. ලංකාවේදී ඔහුට රියැදුරෙක් සහිත වාහනයක් සහ තරු පහේ හෝටලයක ජිම් එකක සාමාජිකත්වයත් ඔහු සේවය කල සමාගමෙන් ලබා දී තිබුණා. සුපර් මාකට් එකේ විසිකරන දේවල් උස්සාගෙන ගොස් දැමීම ඔහුගේ කාර්‍යක් වූ නිසා එහිදී ජිම් යාමට අවශ්‍ය නොවන බව තමයි ඔහු කීවේ.

සංක්‍රමණිකයන්ට එම රටවල තිබෙන විශාලම වාසිය එම රටවල් පවතින අධ්‍යාපන ක්‍රමය. එයින් ප්‍රයෝජනයක් වන්නේ ළමයින්ට. තමන්ගේ ළමයින් වෙනුවෙන් තමන්ගේ ජීවිතය  කැපකිරීමට සූදානම් අයට නම් සංක්‍රමණය හොඳයි. ළමයින් විදේශ අධ්‍යාපනයට යවන්න වත්කම් තිබෙන කෙනෙක්ට නම් එම වාසියම එක්තරා දුරකට ලබා ගන්න පුළුවන්. ඒවගේම ලංකාවේ අවස්ථාවන් නැති තාක්ෂණික ක්ශේත්‍ර වල ඉන්න අයටත් එම රටවල් තමන්ගේ අධ්‍යාපනික සහ රැකියා අංශයන්ගෙන් ඉහලට යන්න දියුණු රටවලට සංක්‍රමණය වීම හොඳයි. සැම්බියාව වගේ රටවල් අදතරම් කුරුවල් වීමට පෙර එම රටවල සේවයට ගිය ඉංජිනේරුවන්, ගණකාධිකාරී වරුන් විශාල ප්‍රමාණයකුත් මේ රටවලට සංක්‍රමණය වෙලා තියෙනවා. ඔවුන් එන්නේ විශාල ප්‍රාග්ධනයක් එක්ක නිසා හොඳ නිවාසයක් සහ වාහනයක් මිලදී ගෙන ඔවුන්ගේ ආරම්භය අනික් අයට වඩා ඉස්සරහින් පටන් ගන්නවා. ඒවගේම අඹු සැමි දෙදෙනාම වෘත්තිකයන් වන පවුලුත් ඉහල සමාජ ස්ථර වලට ඉක්මනින් යනවා. 

මේ කොට්ඨාශ හැරුණම ලංකාවේ රැකියාවක් ලබා ගත හැකි එමෙන්ම එය රැකියාවක් ලෙසම නොසිතා තම සම්පූර්ණ උත්සාහයෙන් වැඩ කිරීමට කැමති අයට නම් වඩා හොඳ උපන් සහ ජීවත්වී පුරුදු තම දෙමව්පියන් සහ ඥාතීන් ඉන්නා රටේම ජීවත් වෙමින් ඉහල ඒමයි. ලංකාවේ සිටින විට අවුරුද්දකට සැරයක් දෙකක් විදේශ රටවල සංචාර වල ගිය සමහර අය විදේශ රටවලට සංක්‍රමණය වී අවුරුද්දකට සැරයක් ලංකාවට එන්නත් අඩුම ටිකට එක ලැබෙනකම්  හෝ මුදල් එකතුවෙනකම් බලාගෙන ඉන්නවා. මේ රටේ අතට පයට සේවකයො තියාගෙන හිටපු අය එම රටවල ගිහින් විඳින දුක මම හොඳට දැකල තියෙනවා. රජයේ ඉහල රැකියා හෝ පෞද්ගලික අංශයේ ඉහල රැකියා දමා ගොස් එහි කලින් තත්ත්වයට වඩා කුඩා රැකියා කරමින් එම රටට අනුගත වීමට උත්සාහ කරන අයනම් කරන්නේ තමන්ව රවටා ගැනීමක් කියල තමයි මගේ විශ්වාසය. 

දරුවන් සංක්‍රමණය වීමෙන් ගොඩක් දුක් විඳින්නේ වයසක දෙමව්පියන්. ඉඳ හිට දරුවන් බලන්න එම රටවල් වලට ගියත් ඔවුන්ට දරුවන් මුණුපුරු මිණිපිරියන් නිතර දකින්නට නොලැබෙන නිසා ඔවුන් දුකෙන් කාලය ගෙවනවා. ඔවුනුත් සංක්‍රමණය වන පරම්පරාවත් විඳින දුක් වලින් ප්‍රයෝජනයක් වෙනවා යැයි ඔවුන් සිතන්නේ තුන්වන පරම්පරාවට. එහෙම විශාල වාසියක් වනවා යයි මම නම් සිතන්නේ නැහැ. ලංකාවේ පාසැල් වල අධ්‍යාපනය ලබා ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබා රැකියා වලට ඉල්ලුම් කරන මධ්‍යම  පාන්තික බොහෝ දෙනෙක් අද දැනුම්, presentation සහ outlook අතින් ඉහල මට්ටමක සිටිනවා. මම හිතන්නේ අන්තර්ජාලය නිසා කලින් තිබුණ පරතරය ගොඩක් අඩුවෙලා. ඈත දුෂ්කර ප්‍රදේශයක අඩු පහසුකම් යටතේ සිටි කෙනෙකුට නම් එම රටවල නිවාසයක් මිලදී ගැනීම පහසුවීම, වාහන මිලදී ගැනීමට පහසු වීම, අඩු වියදමකින් ඉහල තත්ත්වයේ ආහාර පාන ලබා ගැනීමට හැකිවීම විශාල වාසියක් ලෙස පෙනෙන්නට පුළුවන්.  කොටින්ම මෙහෙ සමහර සුඛෝපභෝගී දේවල් කියල සම්මුති හදාගෙන ඉන්න දේවල් ඒ රටවල් වල හැමෝටම තියෙන සාමාන්‍ය දේවල්. ඒවුණාට කුඩා කාලේ සිටි පරිසරය විනෝද වුණ දේවල්, යහළුවන්, ඥාතීන් පුරුදුවුණ දේශගුණය, වගේ සේරම දේවල් අපේ ජීවිත වලට විශාල වටිනාකමක් එකතු කරනවා. මේවාට නියම වටිනාකම් නොදී ද්‍රව්‍යමය දේවලින් පොහොසත්වීමට වුවමනා සහ එයට මෙරටේ අවස්ථාව මදි යැයි සිතන අයට නම් සංක්‍රමණය හොඳ ලෙස පෙනෙන්න පුළුවන්.

බටහිර රටවල අය බොහොමයක් ජීවිතය දෙස හා දරුවන් දෙස බලන ආකාරය ආසියාතික අපිට වඩා වෙනස්. ඔවුන් ලැබෙන වේතනයෙන් විශාල ප්‍රමාණයක් එදිනෙදා ජීවත් වීමට සහ විනෝද වීමට වියදම් කරනවා. බොහෝ විට ඔවුන් විශ්‍රාම ගන්නා විට ඉතිරිවන්නේ ඔවුන්ගේ නිවස පමණයි. ඔවුන් දරුවන්ට නිවාස අරන් දීමට වෙහෙසෙන්නේ නැහැ. දරුවන් බොහෝ විට නොමිලයේ  අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයට රටෙන් දෙන ණය මුදල් ලබාගන්නවා.  ආසියාතිකයින් එම රටවලදීත් පුළුවන් තරම් ඉතිරි කිරීමට පෙලඹෙනවා. එවිට ඔවුන් එම රටවල් වල විනෝද විය හැකි දේවල් බොහොමයක් කරන්නේ නැහැ. බොහෝ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයන් ජීවත් වන ස්ථානය වෙනස් වුණත් කන්නේ ශ්‍රී ලාංකික කෑම, බොහෝ විට ආශ්‍රය කරන්නේ අවට ජීවත්වන ශ්‍රී ලාංකිකයයන්, නටන්නේ සිංහල සිංදුවලට . ඔවුන් බොහෝ විට එකතුවී කථා කරන්නේ ලංකාවේ වැරදි. දෙවන පරම්පරාව නම් ඉක්මනින්ම එම සමාජ වලට අනුගත වෙනවා. සමහර දරුවන් එම රටේ අය සමඟ විවාහ වීමට උත්සාහ කරන විට දෙමව්පියන් විරුද්ධ වෙනවා. ඔවුන් දරුවන් විදේශ රටකට ගෙනවුත් එම පරිසරයේ ජීවත් වන්නට ඉඩදී ඔවුන්ගේ සිතුම් පැතුම් එම සමාජයට හුරුවූ පසුව අනුගත වීමේ ඊලඟ අවස්ථාව ආවිට විරුද්ධ වෙනවා. තවත් සමහර අය නම් ඒවාට ඉඩ දෙනවා. ඔබ දරුවන් කුඩා කාලයේ සිට එම රටවල් වල හැදෙන්න ඉඩ හැරියානම් එවන් අවස්ථාවලදී ඒ ගැන සංවේදී වීමට අයිතියක් නැහැ. 

ළමයිනුත් විවාහවී ඔවුන්ටත් දරුවන් ලැබුණු පසු තමයි පළමුව සංක්‍රමණය කල අය බොහෝ විට අනාථ වන්නේ. ඒ කාලයේදී ඔවුන්ට රජයෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන බැවින් ජීවත් වීම එතරම් අපහසු නැහැ. ඒවුණාට ඔවුන් ඔවුන්ගේ දෙමව්පියන්ට කළ දේ පටිසන් දෙන්නේ ඒ කාලයට. විශාල රටවල සමහර විට දරුවන් මුණුපුරු මිණිපිරියන් එක්ක වෙනත් ප්‍රදේශ වලට පදිංචියට යනවා. ඒකාලයේ තමයි ඔවුන්ට ලංකාවේ හොඳ මතක් වෙන්නේ. 

ලෝක දෙකේම ජීවත් වී ඇති කෙනෙක් ලෙස සංක්‍රමණය පැණිය යුතුම පිම්මක් ලෙස සිතන අයට දෙන්න තියෙන පණිවිඩය මේකයි. ඔබ උපන් ඔබට හුරු රටේ තරුණ කාලයේ ඉහලම උත්සාහයෙන් වැඩ කරන්න. ඔබට යමක් නිශ්පාදනය කල හැකිනම් එය කරන්න. ඔබට විදේශ රටක ජීවත්වීම සිහිනයක් නම් අවුරුදු 20-28 කාලයේ සහ විවාහවීමට ප්‍රථම එය කරන්න. සංක්‍රමණය යනු ඔබගේත් ඔබගේ ලඟම ඥාතීන්ගේත් ජීවිතය විශාල වෙනස්කම් සිදුවන දෙයක් මෙන්ම  බොහෝ විශාල කට්ටක් කෑ යුතු දෙයක් බව මතක තියා ගන්න. චිත්‍රපටි වල සහ සමහර සංක්‍රමිකයන් ගේ කථා වලින් පෙනෙන තරම් සුරංගනා ලෝකයක් නොවන බව දැනගෙන එය කරනවානම් කරන්න.


මෙලෙස විදේශ රටවල මහළු වයස ගෙවන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයන් ගැන මම ලියූ ගීතයක් පහත ලින්ක් එකෙන්.  






ඉපදී උණුසුමෙ පින්බර ලක්බිම
ඒ සුව විඳිනට පින් මඳවී
සීතල නොරටක මුල්ලක ගුලිවී 
සිතින් සරන්නෙමි උපන් බිමේ

සෙව්වා පෙරදා පතමින් හිත සුව
පුර වැසියන් වී ඇත බිමේ
දරුවන් ලොකුවී උන් තව දුර ගොස
පාළු රටක දැන් අපි තනිවී.

මුණුපුරු මිණිපිරි දරුවන් මෙහිදා
ආපහු යන්නට බැරි හින්ඳා
ආමග සිතමින් තෙත්වුණ දෙනෙතින්
පින්බිම යලි උපනට පතමී... 

ඉපදී උණුසුමෙ පින්බර ලක්බිම
ඒ සුව විඳිනට පින් මඳවී
සීතල නොරටක මුල්ලක ගුලිවී 
සිතින් සරන්නෙමි උපන් බිමේ

සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ
පද රචනය මම


85 comments:

  1. පොරොන්දුව ඉටු කරා එහෙනම් ??

    //බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ඒ රටකට සංක්‍රමණය වුණොත් අපේ තිබෙන ඔක්කොම ප්‍රශ්ණ විසඳෙනව කියල// එහෙම වෙන්නේ නෑ .

    මෙහෙ ඇවිල්ලා දදියුණු වුන අය ලංකාවේ හිටියත් දියුණු වෙන වර්ගයේ උත්සාහ වන්ත මිනිස්සු... ඒ මිනිස්සුන්ගේ ළමයි ලංකාවේ වගේම හැදෙන උත්සාහ වන්ත ළමයි..

    http://helmalu.blogspot.com.au/2016/08/blog-post.html කියවන්න...

    ReplyDelete
    Replies
    1. කවිඳුගෙ පෝස්ට් එක තමයි මේ ලිපියට අදහස දුන්නේ. බොහොම ස්තූතියි.

      Delete
    2. උඩ ලින්ක් එක වැඩ කරන්නේ නෑ.. මේක කියවන්න ..http://helmalu.blogspot.com.au/2016/08/blog-post_5.html

      Delete
  2. //බොහෝ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයන් ජීවත් වන ස්ථානය වෙනස් වුණත් කන්නේ ශ්‍රී ලාංකික කෑම, බොහෝ විට ආශ්‍රය කරන්නේ අවට ජීවත්වන ශ්‍රී ලාංකිකයයන්, නටන්නේ සිංහල සිංදුවලට .ඔවුන් බොහෝ විට එකතුවී කථා කරන්නේ ලංකාවේ වැරදි. //

    බ්ලොග් ලියන්නෙත් තමන් ඉන්න රටේ බාසාවෙන් නෙවෙයි, සින්හලෙන්!

    ඉතාම වටිනා ලියමනක් ඉයන් තුමෝ....
    සා ර ස මේ අවස්තාවේදී තුමා ඔබ සමග සීයට සීයක් එකඟයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාරස තුමා. මම නම් ඇත්තටම හිතාගෙන හිටියෙ ඔබතුමා අනික් පෝස්ට් වලටත් 100% එකඟ නමුත් නක්කියට හරහට කමෙන්ට් දානවා කියලනෙ. හෙහ් හෙහ්.

      Delete
    2. //ඔවුන් බොහෝ විට එකතුවී කථා කරන්නේ ලංකාවේ වැරදි. //

      අනිත් ඒව අතපසු උනත් ඕකනං වරද්දන්නෙම නෑ.. ඉන්නත් බැරි යන්නත් බැරි ඩෑල් ඔහොම කියල සැනසිලා අද යූරො එක කීයද අහනවා.. හැක හැක

      Delete
    3. අනේ මන්ද මම නම් ඉංග්‍රීසියෙනුත් බ්ලොග් ලියනවා. රුසියන් වලින් පටන් ගන්න කියලත් ආරාධනාවක් තියනවා. ඉයන් ට තිබ්බ වරප්‍රසාද නැති අය රට ගිහින් ඒවා ගත්තම මොකද?

      Delete
    4. සරසා ගේ දෙවියන් ගේ හෙවත් අප්පච්චි ගේ ලොකු අයියා ඇමෙරිකාවේ ඉන්නේ ඇයි ? දෙවෙනි මල්ලි හා තුන් වෙනි මල්ලි ඇමෙරිකාවේ පුරවැසිකම් තියාගෙන ඉන්නේ ඇයි කියල කිව්වොත්?

      Delete
  3. එකම වචනයයි කියන්න තියෙන්නේ.

    'යථාර්ථාවබෝධය'

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා

      Delete
  4. අපි බලමු සංක්‍රමණික බ්ලොග් කරුවො මොනවා කියයිද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට නාගන්න වෙයිද ? බොහොම ස්තූතියි ඩූඩ්

      Delete
  5. //හොර මාර්ග වලින් හෝ නිත්‍යානුකූල නොවන මාර්ග වලින් ගිහින් ඉන්න අය ජීවත් වීමට දරණ උත්සාහය දුටුවාම සහ ඔවුන් සමහරක් ජීවත් වෙන ආකාරය දුටුවාම මට හිතෙන්නේ ඔවුන් කලින් ආත්මයේ කරපු පාප කර්ම ගෙවනවා කියලයි. ඔවුන් යම් තත්ත්වයක ඒමට ඒ කරන කැපකිරීම සහ කන පරිප්පුව මේ රටේදී කරනවා නම් ඔවුන්ට මෙහෙත් ඉහලට එන්න පුළුවන්. ඔවුන් එම රටවල කරන රැකියා වලට මෙහෙදී නම් කිසිවිටකවත් ඔවුන් ඇතුලත් වෙන්න හිතන්නේ වත් නැහැ. ඔවුන් සමහරක් එම රටවල් වලදී විඳින දුක මෙහෙ අයට කියන්නේ නැහැ. මෙහෙ ආවිට ඔවුන් පෙනී හිටින්නේ සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්නවන කට්ටිය වගේ//

    අපේ පත්තරමලය නොහිටින්ඩ මාත් ලස්සන ගෙයක් දොරක් හදාගන්ඩ තියන පැල්පත උගස් තියල ඉතාලි ගිහිං අනාගන්නවා. ඔය ඉතාලි ෂෝවල ඇත්ත කතාව කියලා ඌ කියල දුන්න නිසා මං බේරුනා

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් ...දවසක් මං දැක්කා පත්තරේක ...රට යන්නෝ වැනසෙන්නේ ....කියල ලිපියක් ....ඒක නං ලියල තිබුනේ ...කම්කරුවන් සහ ගෘහසේවිකාවන් විදිහට රට යන අය ගැන , පිටරටවලදි ගෙවන්ඩ වෙන ජීවිත සහ මෙහේ වෙන පවුල් සංස්ථාවේ කඩාවැටිම් ...ගැන සහ විශේෂයෙන් දරුවන්ට වෙන අකටයුතු කම් නොසලකාහැරිම් ...අතවරවගේ දේවල් ගැන ....බලාගන ගියහම ....තෙවන පන්තියේ ද , දෙවන පන්තියේද ....සමහරවිට පලමු පන්තියේ පුරවැසියෙක් උනත් .....වෙන තැනකට සංක්‍රමණය උනහම .....උපන් බිමට වැඩිය රටක් ලොවේ කොයිදා .......... වාගේ නේද සීන් එක .... අන්දෝ සංසාරේ..........හරි තමා කරිජ්ජ වලල්ල පැනපු එකා තමා දන්නේ ඒකේ රස .....කලා තුරකිං එකෙක් දෙන්නෙක් ..ඇත්ත කතාව එක්ක තමන්ට හිතෙන දේ කියනවා .......බහුතරය .....අප්පෝ මෙහේ හරි ගු ....එහේ ගුත් සුවදයි කියනවා , තව ටිකක් දෙනෙක් මට අරක කරා මේක කරා ...ඒක හින්දා ආවා ...නැත්තං මේ රටට සේවය කරල මේ රටේ වැලලෙන්ඩ හිටියේ කියනවා....


      ඔය ඔක්කොමත් හරි ....තවත් ටිකක් ඉන්නවා ....මේක තමා හරි .....උඹලත් මෙහෙම ම කරන්න ඕන ...උඹල වැඩ කරන්ඩ ඕන මේ ...විදිහට මම කරපු දේ තමයි හරි කියල ......කියන අය ....

      එයාල කියන ඒවානං මං අහන්නේ නැ ...මොකද දන්නවද ...එයාල අරක්කු සිකරට් බොන්නේ නැ , බීලත් නැ

      Delete
    2. බොහොම ස්තූතියි අටම්. අපේ අටමා බේරා දීම ගැන පත්තර මලයාට මගේ ප්‍රණාමය.

      Delete
    3. අටමා අපේ බොක්ක වෙච්චි..

      Delete
    4. ඒකද අටම බොනකොට උඹේ කෝටා එකත් එක්ක බොන්නෙ? හැක්

      Delete
  6. සාටර් සින්දුව. මේ වගේ ඩයල් වලට වයසට ගියාම හැදෙන පිස්සුවක් තමයි ඕකත්. චාටර් සින්දු ලියන එක.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ස්තූතියි ඇනෝ

      Delete
  7. ළමයින් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකිරීමට සූදානම් අයට නම් සංක්‍රමණය හොඳයි. /// true

    ReplyDelete
  8. තරුණ වයසේදී සංක්‍රමණය විය යුතුය කියන කාරණය බොහෝ දුරට ඇත්ත. අනිත් අතින් ලංකාවේ ස්ථාවර වෙලා, උසස් රැකියාවක් සහිතව ඉන්න අය, තමන්ගේ දරුවොන් වෙනුවෙන් හෝ එහෙමත් නැත්නම් රැකියා ක්ෂේත්‍රයේ උසස් වීමක් වෙනුවෙන් ඇරුනම, පිටරකට ගිහින් දුක් මහන්සි වෙන එකේ තේරුමක් නැහැ. ඒත් කවිඳු කිව්වා වගේ, දක්ෂයා කොතන උන්නත් තමන්ට අවශ්‍ය වට පිටාව නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වෙනවා. ප්‍රශ්න කියන දේවලින් ගැලවෙන්න පිටරටක ජීවත් වෙනවා කියන එක බොරුවක්. උපදින ඕනෙම කෙනකුට ජීවත් වීමේදී මතුවන ගැටළු ලෝකේ කොහේ හිටියත් ඒ ප්‍රශ්න තියනව. හිත ශක්තිමත්, අරමුණක් තියන, මොළේ තියන කෙනා ලෝකේ කොහේ උන්නත් ඒවාට උත්තර හොයා ගන්නවා.

    නමුත් දියුණු රටක ලංකාවට වඩා පහසුකම් අතින් වැඩියි කියන කාරණය නම් අපට පිලිගන්නම වෙනවා. කොළඹ ඇසුරු කරගෙන ජීවත් වන කෙනකුට ඒක ඒ හැටි දෙයක් නොවුනත්, අනිත් නගර අශ්‍රිතව තත්වය ඊට වඩා වෙනස්. මේ රටක පැය බාගෙන් යන්න තියන ගමනට ලංකාවේ පැය දෙකක් ගතවෙන කොට, කාලය අපතේ යනවා. කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ලංකාවේ සමහර දොස්තරලා සල්ලි නැතුව සර්ජරි එක කරන්නේ නැහැ කියල, හොස්පිට්ල් එකේ බිලිං සෙක්ෂන් එකට කියද්දී, මෙහෙ සර්ජරි එක කරලයි ඉන්ෂුවරන්ස් තියනවද කියල බලන්නේ. ඒ නිසා ඒ ජීවත් වීමේ හොඳ නරක දෙකම තියනවා. ජීවිතේ පටන් ගන්න අමාරු උනාට, පසු කාලීනව ජීවත් වන එක පහසුයි. අනිත් රටවල මම දන්නේ නැහැ, නමුත් ඇමෙරිකාවේ අපට රිටයර්මන්ට් plan එකකට යන්න පුළුවන්. ඒ වගේ මාසික වැටුපෙන් යම් ප්‍රමාණයක් "සෝෂල් සෙකියුරිටි", නමින් ඇති මුදලකට අඩු කරනවා. එය නැවත මාසික දීමනාවක් ලෙස විශ්‍රාම ගියායින් පසුව ලබා ගන්න පුළුවන්. එය තමන්ගේ වැටුපෙ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.

    මිනිස්සු පිටරටකට ගියාම ජීවත් වන ආකාරය පදනම් වෙන්නේ තමන්ගේ සිතුම් පැතුම් මත. ඕනෙම ජාතියක සංක්‍රමණිකයින් පොදුවේ තමන්ගේ රටේ කෑම සහ තමන්ගේ උප සංස්කෘතියක් හදා ගන්න එක පොදු ලක්ෂණයක්. අනිත් අතට, ලංකාවේ සංස්කෘතිය පරිස්සම් කරගෙන, ජීවත් වන රටේ ආර්ථිකයට අනුව ජීවිතේ සකස් කරගන්න, බුද්ධිමත් උනොත් ජීවිතේ දුකක් නැහැ. මහන්සි වෙලා සල්ලි ඉතිරි කරන්නම බලාගෙන ජීවත් උනොත් නම් ජීවිතේ දුකක්ම විතරයි.

    කොහොම උනත් මිනිහෙක් එක වතාවක් හරි පිටරටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ ජීවතේ යථාර්තය තේරුම් ගන්න. ලංකාවේ කිසිම වෙහෙසක් නැතිව, සල්ලි හොයන්න දඟලන මිනිස්සු දන්නේ නැහැ, ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලවත්.

    ReplyDelete
    Replies
    1. පොකුරු ඔබ ඉන්නවා යැයි මම සිතන ක්ශේත්‍රය සංක්‍රමණය කියන්නේ මේ රටේ වෘත්තීය මට්ටමෙන් එන්න බැරි මට්ටම් වලට එන්න පුළුවන් වන එකක්. ඔවුන්ගේ සංක්‍රමණය ඔවුන්ටත් ක්ශෙත්‍රයටත් හොඳක්. එහෙම නැතුව ලංකාවේ හොඳ රැකියා කරන අය මෙහෙ තියෙන ට්‍රැෆික් හෝ වෙනයම් ප්‍රශ්ණ නැහැයි කියල සංක්‍රමණය වීමෙන් තව ප්‍රශ්ණ හදා ගැනීමක් යන්නයි මගේ අදහස.

      මම හිටිය රටෙත් බොහෝ ශල්‍ය කර්ම වල නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒවාටත් පරීක්ශණ වලටත් මාස දෙක තුන බලාගෙන ඉන්න වෙනවා. වහාම ප්‍රතිකාර ලැබෙන්නේ emergency යටතේ ඇතුල් වුණාම. මේ අතින් ලංකාව බොහොම ඉදිරියෙන්. සමහර ප්‍රතිකාර ක්‍රම නම් ඒ රටවල පමණක් තිබෙන ඒවා තියෙනවා.

      Delete
    2. ඇත්තටම මම මගේ ක්ෂේත්‍රය ගැන හිතල නෙවේ කථා කලේ. එහෙම කරන එක ඇත්තෙන්ම අසධාරනයිනේ. හැබැයි එකක් කියන්න ඕනේ, ලංකාවේ නම් මම අයිති වෙන්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට. නමුත් දේශපාලනය කියන විශ්ව විද්‍යාල ඇතුලෙත් අඩුවක් නැතුව තියනවා. අලුත් අදහස් එක්ක එන තරුණ පිරිසට, එහෙයි නොකිය ජීවත් වෙන්න බැරි පරිසරයක් තමයි එතන තියන්නේ. මම දනුවත්ම ඇමෙරිකාවේ Food and Drug Administration (FDA) වැඩ කරලා ගිය ලංකාවේ ඉතාම දක්ෂයෙක්ව, ඔවුන් තමන්ගේ ස්ථිර කථිකාචාර්යවරයෙක් ලෙස බඳවා ගත්තෙ නැහැ. ඒ නිසා එහෙම දේවලුත් නැත්තේම නැහැ. ඒවත් හේතුවක් වෙනවා මේ රට හැර යාම් වලට.

      ප්‍රවාහනය පිළිබඳව මගේ අත්දැකීම් ගැන හිතල කථා කලොත්, මම අවුරුදු දොළහේ ඉඳන් ගමක ඉඳන් කොළඹ පාසැල් යාම නිසා සෑහෙන්න පාරට කාලය කැප කරපු කෙනෙක්. උදේ පාන්දර හතරට නැගිටලා පාසැල් ගිහින්, නිවසට එන්නේ සවස හතර ආසන්න වෙලා. අවසානයේ ටික කලක් නේවාසික වී උන්නා.
      ඉන් පස්සේ ඉගන ගන්නත් එහෙමයි. ටවුන් එකේ ඉඳන් ගෙදරට යන්න හවස හයෙන් පස්සේ බස් එකක් නැහැ. ඒක අදටත් එහෙමයි. අද මම ලංකාවේ උන්න නම්, ගමේ ඉඳන් කොළඹ රැකියාවට, මගෙ පුද්ගලික මෝටර් රථයකින් යන්න ඉන්ධන වියදමයි, කාලයයි බැලුවම, තේරුමක් නැති දෙයක්. කොළඹ ආශ්‍රිත ජිවිතයට ඇත්තටම මේවා ප්‍රශ්න නෙවේ. අද අපේ ගම් පළාත් වල ඉඳලා බොහෝ දෙනෙක් කොළඹ රැකියා වලට යනවා. උසස් රැකියා උනත් ඉන්ධන වියදම නිසා බොහෝ දෙනෙක්ගේ ප්‍රවාහන මාර්ගය බස් රථය. ඒ මිනිස්සුන්ගේ ජීවිතෙන් බොහෝ කාලයක් පාරට කැප වෙලා. මේ ටික ඇත්තෙන්ම සංක්‍රමණයට අදාළ වෙන්නේ නැහැ. ඒ මාතෘකාව මතු උන නිසයි ලිව්වේ. :)

      පිටරටකට සංක්‍රමණය වීම කියන්නේ ට්‍රැෆික් වලට හෝ ඉන්ධන වියදමට හෝ පිළිතුරක් නෙවේ. මම අදහස් කලේ පිටරක ජීවත් වීමේදී ඒ පහසුකම් ලැබෙනවා කියන දේ. ලංකාවේ හොඳ රැකියාවක් කරන කෙනෙක් කිසිම ප්‍රතිලාභයක් නොමැතිව සංක්‍රමණය වීම කිසිම තේරුමක් නැති, අනවශ්‍ය පීඩනයක් එකතු කරගැනීමක් එකතු කරගැනීමක් කියන දේට මමත් සම්පුර්නයෙන්ම එකඟයි. එහෙම ඇවිත් දුක් විඳින ලාංකිකයින් බොහොමයක් මම මෙහෙත් දැකල තියනවා. ඒතනදී, ගොඩක් වෙලාවට මිනිස්සු දුක් විඳින්නේ කිසිම සැලසුමක් නැතිව වැඩ කිරීමෙන් කියලයි මට හිතෙන්නේ.

      Delete
    3. ඔව් මම එකඟයි ඔබේ අදහසට. යම් ක්ශේත්‍ර වල තිබෙන දක්ෂයාට තැන නොලැබීම වගේ දේවල් එක්ක ඒවගේ තැන්වල පල්වෙවී තමන්ගේ වෘත්තීය දියුණුව කඩාකප්පල් කරගන්න එකේ තේරුමක් නැහැ.

      මගේ අත්දැකීම් තියෙන්නේ පෞද්ගලික අංශය සමඟ. එහි දේශපාලන හෝ වෙනත් හේතු නිසා කෙනෙකුට ඉහල යාමට නොහැකිවීම අඩුයි. දක්ෂතා තිබෙන සමහර රාජ්‍ය සේවයේ අයටත් තමන්ගේ දක්ෂතාවය අනුව පෞද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කිරීම ලංකාවේ අපහසුම කටයුත්තක් නෙමෙයි. තවමත් බොහෝ දේවල් පිටරටින් ගෙන්වන මේරටේ කැපවීමක් කරන්න ඕන කෙනෙකුට ඉහලට එන්න හැකියාවක් තියෙනවා. පිටරටක ගිහින් කන්න කැමති වෙන කට්ට මේරටේදී කාල ඉහලට ආවොත් තමන්ට තිබෙන වාසි නැතිකර නොගෙන හොඳ ජීවිතයක් ගෙවන්න නොහැකි රටක් නෙමෙයි මේක. සිරියාව වගේ රටවල හෝ ලංකාවේ හැමතැනම බෝම්බ පිපුරුණු කාලයේනම් වෙනස් විදිහකට හිතන එක සාධාරණයි.

      සමහර අය සුදුසුකම් ලබාගන්න උත්සාහ කරන්නේම විදේශ ගත වෙන්න බලාගෙන. උත්සාහවන්ත මිතුරන් දෙතුන්දෙනෙක් එකතු වෙලා නිවාස සාදන ඉහල සේවාවක් දෙන හොර බොරු නොකරන ආයතනයක් ආරම්භ කලොත් කටවචනයෙන් ඔවුන්ගේ ව්‍යාපාරය ඉහල මට්ටමකට ගේන්න පුළුවන්. එහෙම නැතුව ඔවුන් සිවිල් ඉංජිනේරු රැකියාවල් වලට මැද පෙරදිග ගියොත් හොඳ ප්‍රාග්ධනයක් හොයා ගන්න පුළුවන්. එහෙම නැතිව සංක්‍රමණය පමණක් කලොත් එම රටවල් වල සුදුස්කම් ලබා ගන්න තෙක් බොහොම දුකක් විඳින්න වෙනවා. එසේ කලත් ලැබෙන්නේ සුමාන තුනක වේතනය ගෙවා අස්කරන්න පුළුවන් රැකියා. ඇයි ඒ දුක මෙහෙ විඳින්න බැරි කියන එක තමයි මගේ ගැටළුව.

      Delete
    4. ඔබේ කථාව සම්පූර්න ඇත්ත.

      //ඇයි ඒ දුක මෙහෙ විඳින්න බැරි කියන එක තමයි මගේ ගැටළුව//

      ඒක අපේ මිනිස්සුන්ගේ ආකල්පමය ගැටළුවක්. අපේ සමාජය, කුඩා පරිමාණයෙන් පටන් අරගෙන දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක්ව අගයන සමාජයක් නෙවේ. උපාධියක් අරන් විශ්ව විද්‍යාලෙන් පිටවෙන තරුණයෙක්, ටික කලකින් නවීන පන්නයේ වාහනයකින් යනකල් බලාගෙන ඉන්න සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ පීඩනය ඇතුලේ ඉන්න බහුතරයක් තරුණ තරුණියෝ සොයන්නේ කෙටි මාර්ග. වයිට් කොලර් රැකියා. සම්මතයෙන් පිට ගිහින්, ගඩොල් කපන රැකියාවකින් ජීවිතේ පටන් අරන්, කර්මාන්තශාලාවක හිමිකාරයෙක් වෙන්න අරමුණක් හදා ගන්න, මිනිහෙකුට ලොකු ඉවසීමක් තිබිය යුතුයි. ඒ වගේම සමාජයේ කයි කතන්දර මායිම් නොකර එතැනට යන්න හොඳ හිතේ හය්යක් තියෙන්න ඕනේ. එහෙම අය ඔබ කියනවා වගේ දේවල් කරලා, බොහෝ දියුණු වෙනවා. නමුත් විදේශයකදී මේ කරුණු බලපාන්නේ නැහැ. මට පුළුවන් හෙට ගිහින් වැසිකිළි සෝදන රැකියාවක් කරන්න, අවශ්‍ය උනොත් මගෙ උපාධි සේරම පැත්තකින් තියල. මට අපහාස කරන්න, මගෙ අක්මුල් හොයන්න, කවුරුත් මෙහෙ නැහැ. අන්න අරය අහවල් උපාධිය තියාගෙන මෙහෙම කරනවා කියන්න කෙනෙක් විදෙස් රටවල් නැහැ. බලපාන්නේ මම කොයි තරම් මුදලක් උපයනවද කියන කරුණ විතරයි. සරලවම කියනවා නම් ඕක තමයි, අපේ මිනිස්සු ලංකාවේදී ඒ විදියට දුක් විඳින්න මැලි වෙන්නේ. රට්ටුන්ගෙන් කතන්දර අහන්න බැරි කම. කිසිම වැඩකට නැති පුහු මාන්නය නොහොත් ඊගෝ එක අපේ මිනිස්සුන්ගේ ඔළු වලට කිදා බැහැල. අනාගතය සාර්ථක කරගන්නට, කුඩා පරිමාණයෙන්මේ ජීවිතය අරඹනවාට වඩා, "ස්ටේටස් මේන්ටේන් කරන" සමාජයක් ඇතුලේ තමයි අපී ජීවත් වෙන්නේ.


      මේ මා ජීවිතේ ඇසු දුටු දෙයින් ගොඩ නගා ගත් මගෙ පුද්ගලික මතය. ඔබ මට වඩා වැඩිමහල් කෙනෙක් සහ ජීවිතේ දුටු කෙනෙක් නිසා, ඔබට මේ ගැන වෙනස් අදහසක් ඇති.

      Delete
    5. නැහැ පොකුරු. මගේ මතයත් ඒකම තමයි. පොඩි දෙයක් එකතු කරන්නම්. ව්‍යවසාය කියන එක ගැන තියෙන නොදැනීම එහෙම නැත්නම් බයත් හේතුවක් වෙන්න පුළුවන්. සැලසුමක් හදාගෙන අවශ්‍ය උපකරණ කුලියට අරගෙන යමක් පටන් ගත්තොත් ටික කාලයකින් උපකරණ කල්බදු ක්‍රමයට අරගෙන ද්යුණු වෙන්න පුළුවන්. ලංකාවේ කල්බදු ක්‍රම බොහොමයක් පාවිච්චි කරන්නේ සුඛෝපභෝගී වාහන ගන්න. ඒ මුදල් යොදවල යමක් නිශ්පාදනය කරන උපකරණයක් ගත්තොත් නැත්නම් සේවාවක් සපයන්න පුළුවන් උපකරණ ගත්තොත් ටික කාලෙකින් වාහනයක් මුදල් දීලම ගන්න පුළුවන් කියන දේ නොවැටහීමද ඒදෙස නොබැලීමද දන්නෙ නැහැ.

      Delete
    6. හරියට හරි පොකුරුලංකාවේ සල්ලි තිබ්බට . අර මාතලන් ගොයියට බනින බැනිලි බලන්න රස්සාව ගැන කියල. මොකද්ද ප්‍රශ්නේ මොන රස්සාවක් කෙරුවත්. ලන්ඩනයේ ඉන්නව බැංකුවක විධායක නිලධාරියෙක්. බිරිඳට උපාධි දෙකක්. ලංකාවේ සල්ලි තියන පවුලක්. අම්ම මැක් එකේ වැඩ. තාත්ත සුපර් මාකට් එකක. මම ඇහුව ඇයි මෙහා ආවේ කියල. ඒ ගොල්ලෝ කියන්නේ ළමයින්ගේ ඉගෙනීමයි අනාගතයයි හිතල ආවේ කියල. ලංකාවේ ඒ තිබෙන සල්ලි මදිලු. ටියුෂන්, ළමයි උසස් පෙලට විඳින දුක හෙම බැලුවහම් ලන්ඩනය ලෙහෙසිලු.

      Delete
    7. අජිත් ඕකෙ අනික් පැත්ත තමයි අනුන්ගේ කීම් වලට තමන්ගේ ක්‍රියා මාර්ග වෙනස් කිරීමේ ආදීනව. කරන රස්සාවට ගරහන්නේ කුහකයෝ. ඒ අයගේ කුහක කම ඒගොල්ලන්ට කියලා තමන්ගේ දක්ෂතාවය සහ හැකියාව තිබෙන පැත්තෙන් උපරිම උත්සාහයක් දාල ඉහලට ඒම තමයි දක්ෂකම. ඒවාට ප්‍රතික්‍රියා හැටියට ඒ අවස්ථාවෙන් පැනලා ගියාම වෙන්නේ අපට හානියක්. මම කියන්න අදහස් කරන්නේ පිටරට ගිහින් රැකියා දෙක තුනක් කරලා උඩට එන්න හදන අය මෙහෙදි තමන් කරන රස්සාවට අමතර සුළු ව්‍යාපරයක් හෝ තව රස්සාවක් හෝ ඉගැන්වීමක් හෝ ඉගෙන ගැනීමක් හෝ කරන්න තිබෙන කම්මැලිකම.

      Delete
  9. වැදගත් අදහස් තියෙන සමබර ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදුදය මිතුරෝ.

      Delete
  10. මේ ලිපියම හෝ මේ මාතෘකාවෙන් වෙනත් ලිපියක් කලින් ඔබම පලකලා නේද?

    ReplyDelete
    Replies
    1. https://lankanian.blogspot.com/2016/03/blog-post_4.html

      Delete
    2. සිහිය නැහැනෙ කමියෝ. කවිඳු ගේ පෝස්ට් එකක දාපු කමෙන්ට් එකක් නිසා මේක ලිව්වේ. ඇත්තටම සිහියේ තිබුණේ නැහැ.

      Delete
    3. පාඨකයෝ අවධියෙන්.. :)

      Delete
    4. අල්සයිමර් කේස් එකක් වේගෙන එන්නෙ හැක්

      Delete
    5. ඔච්චර බොන්න එපා ඉයන් මල්ලී...මේ වගේ පෝස්ට් රිපීට්වෙන එක අහන්න දෙයැක්‍ මල්ලී ඔහොම බීවම....
      ඩෝප් සීන් අංක 2... එක මගේ...

      Delete
    6. චෙෆාකි අයියේ , හැක්. සිගරට් බිව්වම මතකය අප්සෙට් යනවද? අපි කෝපි බීල ශේප් වෙන කස්ටියනෙ.

      Delete
    7. ආදරේට කියන්නේ...ඒක මද පමනින් කරමුද අපි දෙන්නාම..?

      Delete
    8. මාත් සිගරට් වලට දැඩි පාලනයක් දගත්ත්නම් හොදයි කියලා හිතෙනවා..(කොරන්න බැරි එකනේ වැඩේ)

      Delete
  11. මිත්‍රයා,

    මිනිස්සු ඇතුළු සත්වයෝ ස්භාවධර්මයෙන් නිර්මාණය කරලා ආරක්ෂාවට තිබෙන්නේ සටන් කිරීමට සහ/හෝ පලා යාමට (fight or flight) කුසලතාවයන් එක්ක මම හිතන්නේ. සටන් නොකරම පලාගිය මිනිස්සු කොහේ ගියත් පැරදුන බවයි මම දැක තිබෙන්නේ. සටන් කර පැරදී පලාගිය මිනිස්සු, වෙනත් භූමියකදී වැඩිවශයෙන් සාර්ථක වෙන බවත් දැක තිබෙනවා.

    රෝමෙට ගියා නම් රෝමන්කාරයෙක් වගේ වෙන්න ඕනේ කියන එකයි මගේ විශ්වාසය නම්.

    මගේ දෙමවුපියෝ මම වෙනුවෙන් කල කැපකිරීමට කලගුණ සලකන්න පුළුවන්, මට දරුවෝ ඉන්නවා නම් ඒ දවසට ඒ කැපකිරීමට වඩා දෙයක් කිරීමෙන් බවයි මම විශ්වාස කරන්නේ. කෙනෙකු තීරණ ගත යුත්තේ දෙමවුපියන් හෝ පසු කල පරම්පරාව ගැන පදනම් වී නොව ඉදිරි පරම්පරාව ගැන පදනම් වෙමින්. එවිටයි ලෝකය ඉදිරියට යන්නේ. ඕනෙම අයෙකුගේ දරුවෝ කියන්නේ ඔවුන් වගේම මිනිස්සු මිසක් දෙමවුපියෝ සතුටු කරන්න බැදී සිටින සත්ව කොට්ටාශයක් නොවෙයි. දරුවෝ හදන්න ඕනේ මිනිසෙක් වශයෙන් ඉපදී ජීවත් වීමට අපිට ලැබුන අවස්ථාව තව කෙනෙකුට ලබාදීමේ යුතුකම සහ වගකීම නිසාම මිසක්, අපේ බලාපොරොත්තු දරුවෝ ලවා ඉටුකරගැනීමේ අභිලාෂයෙන් නොවෙන බවයි මගේ සිතිවිල්ල.

    සංක්‍රමණය පැනිය හැකි පිම්මක් ලෙස සිතන අයට දෙන්න මට දෙන්න තියෙන පණිවිඩය මේකයි. ඔබට සුදුසුය කියල හිතෙන ඔබට තෘප්තිමත් විය හැකිය කියල හිතෙන තැන ඔබ ඉන්න. අනවශ්‍ය අවධානමක් නොගෙන එය අත්හදා බැලීමට අවස්තවක් ලැබුනොත් එය ලබාගන්න. ඒ තීරණය ගැනීමේදී පසු කල පරම්පරාවන්ට වඩා ඉදිරි පරම්පරාවන්ට වැඩි බරක් තබන්න. යම් අධ්‍යාපනයක් හෝ දියුණුවක් ලැබූ දවසක තරමක කාලයකට හෝ නැවත අපේ රටට ගිහින් රටේ දියුණුවටත් යමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්කියුෂා , ඔබ සමඟ එකඟයි

      Delete
  12. මමත් සංක්‍රමණය කරම්දෝ නොකරම්දෝ කියා කාලයකට පෙර දෙගිඩියාවෙන් හිටියා. සංක්‍රමණය කල මගේ සමකාලීනයන්ගේ අත්දැකීම් ධනාත්මක වෙගේම රිනාත්මක ඒවත් තිබුනා . අන්තිමේදී මම සංක්‍රමනය ගැන හිතන එක නවත්තල දැම්මා. 2009 යුද්දෙ ඉවර වුනහම රට හොඳ මාවතකට යයි කියල ලෙකු බලාපොරොත්තුවක් තිබුන. ඒත් !?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි serendipity. බාහිරව වෙන දේවල් උඩම තීරණ නොගෙන ඔබගේ දක්ෂතාවන් වලින් වඩා ප්‍රයෝජනයක් ගත හැකි වන්නේ කොහේදිද යන්න උඩ තීරණයක් ගන්න.

      Delete
  13. මම හිතන්නේ නම් මේවා අපි බොන වෙලාවට කතා කරන්න ඕන දේවල් කියලා.. මේ ගැන හරි විදිය්ටම ලියන්න ගියොත් වෙන්නේ මීටත් වඩා අකුරු වැඩියෙන් තියෙන ළිපියක් ලියවෙන එක. මගේ අදහස මෙහෙමයි.

    මයිග්‍රේට් කියන්නේ වෙනම දෙයක්. සඟිස්කුරුතිය අහිමිවීම කියන්නේ තව එකක්.
    ඉයන් සඳහන් කරන දෙවර්ගයේම අය මමත් අනන්ත දැකලා තියෙනවා. ඕක මයිග්‍රේට් කරාම විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. කසාද බැඳලා පරිසරය වෙනස් වෙන එකාටත්, අජ්ජාපනය නිසා පරිසරය වෙනස් වෙන එකාටත්, රැකියාව නිසා පරිසරය වෙනස් වන එකාටත්, පන්තියේ වෙනස්වීම් නිසාත් ඇති වෙනවා. ඒ කියන්නේ නුහුරු පරිසරයකට අනුගත වෙන්න යන කාළය වැඩියි. මේවට ඉතින් අපේ ගැමි වහරෙම අනන්තවත් කතා තියෙනවා. නව කතා, ටෙලි නාට්ටි, ෆිල්ම්, කයි, කෙටි කතා අනන්තයි. ආරේ ගති නෑරේ කියලා කියනවා. උපන් ගෙයි ගතිය අරින්න බෑ කියලා කියනවා. ඔහොම කතා ගොඩයි. එහෙම කෙනෙක් තමයි වෙනස් වන පරිසරය ඇබ්සෝබ් කර ගන්නේ. ඔය අභ්‍යවකාශයට යන උන්ගෙත් ඔළුව අවුල් වෙනවයි කියනවනේ. ඒ නිසා තමයි යවන්න කලින් මෙහේදිම ඒ පරිසරාට හුරු කරන්නේ. ඔන්න ඔය වගේ මහා කතාවක්.

    එතකොට මයිග්‍රේට් කියන එක ළෝකය ඇති උන දා පටන් තියෙන දෙයක් නේ. මානවයා මුලින්ම පහළ උනේ අප්‍රිකාවෙය කියනවනේ. මම නම් ඔය කතාව පිලිගන්නෙ නෑ. එතකොට ආර්යයන්, ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය. හිංගලයා කියන එකා. එතකොට නොයෙක් නොයෙක් කුළවල අය. ලංසු මැලේ ගියිගම තම්බි.. මේ ඔක්කෝම මයිග්‍රේට් කරපු අය. මෙහේ ඉඳලා තියෙන්නේ නිට්ටෑවෝයි රාවණාගේ සෙට් එකයි ඉතරයි. හා හොඳයි බොරු නම් ප්‍රා ගෙන් අහන්නකෝ.

    අනික හොන්නහ්ඩම උදාහරණය අද ළෝකයේ තියෙන බලවත්ම රාජ්‍යය. ඇමරිකාව. තනිකර මයිගේට් කේස් එකක්. හැබයි එකම ආපු උන්ට මුල මතක නෑ. ඒකනේ මයුග්‍රන්ට් කෙනෙක්ම කියන්නේ ම්යිග්‍රන්ට්ලා එලවනවා කියලා. එතකොට ඒ තර්කය අනුව ඩොනල්ට් ට්‍රම්ප් අයියත් ආපු රටට යන්න වෙනවා. මේ දවස්වල ඔලිම්පික් නේ. බ්‍රසීලය කියන්නේ මොකක්ද? තනිකර මයිග්‍රනට් කේස් එකක්. ඔස්ට්‍රේලියා. කැනඩා, නිව්සීලන්ඩ්. මේ ඔක්කෝම එහෙමයි.

    ඉයන් දැක්කද මන්දා මේ සෑරේ ඔලිම්පික් වල තරඟ කරනවා රටක් රාජ්ජයක් නැති පිරිසකුත්. උන් ගමන් කලේ ඔලිම්පික් කොඩිය යටතේ. ඒ නිසා මයිග්‍රේසොන් කියන්නේ ළෝකයේ දියුණුවට අත්‍යාවශ්‍ය දෙයක්. අනික සීමිත සම්පත් ටිකක් තියෙන මේ හිඟන රටේ දුක් විඳිනවට වඩා නරකද? ඊට වඩා සැප විඳිමි කාන්සියෙන් ඉන්න එක. නිවාඩුවකට මෙහේ ඇවිත් යන්න බැරිය. එහෙම නැහ්නන් පැන්සොන් ගත්තාම එනවා ගම රට.

    ReplyDelete
    Replies
    1. //මම හිතන්නේ නම් මේවා අපි බොන වෙලාවට කතා කරන්න ඕන දේවල් කියලා.//

      මේක කරන්න පුළුවන් දෙයක්ද? බොන වෙලාවට චෙෆාකි කියන දෙයක් අහගෙන ඉන්න වෙනව නේද? හැක්

      බොහොම ස්තූතියි මාතෙ. මනුෂ්‍යා සංක්‍රමණික සත්වයෙන් කියන එක පිළිගන්නවා මාතේ. ඒ සංක්‍රමණය සිද්ධ වුණේ ආහාර, වතුර, වගා බිම්, යුද්ධ, ethnic cleansig ආදී හේතු උඩ නේද? ලංකාවේ යුද්ධයක් තියෙන විට බටහිර රටවල් වල එහෙම නැතිකොට සංක්‍රමණය වීම සහ අද බටහිර බෝම්බ පිපිරෙන විට මෙහි සාමකාමී ගතියක් තිබෙන කොට සංක්‍රමණය වීමත් වෙනස් කියා මට හිතෙනවා.

      Delete
    2. එතකොට... ඩුවල් සිටිසන්ෂිප් අරගෙන මෙහේට සංක්‍රමනය වෙනවා...

      චෙෆාකිගෙ ලෙඩේට බෙහෙතක් නම් එයාම කිව්වා නේ..

      Delete
    3. මට වට්ටෝරුව එවපන් මාතේ..බීපු වෙලාවක කීවනං දැන් මතක නැතුව ඇති මටත්...
      සිරියන්ස්ලා පවා යුද්ධය පාවිච්චිකරලා ඉකොනොමික් මයිග්‍රන්ට්ස්ලා උනා යුරෝප් වලට....
      ඉයන් උනත් ආපහු ආවේ මොනා හරි හේතුවක් නිසාත් එහෙම කරන්න පුලුවන් නිසාත්...
      ඒ අස්සේ ලමයිගේ අධ්‍යාපනේ නිසා මයිග්‍රේට් කරලා නහින දෙහින කාලේ අනාගෙන ඉන්න මගේ යාලුවෝ ගොඩාක් ඉන්නවා ඕස්ට්‍රේලියාවෙ..උන්ට ඒ දවස්වල කිව්වා ලමයිව ඇරපල්ලා බොලා යන්න එපාය කියලා..කොහේද ලන්කන්ස් ලාට දෙකයි පනහ ලොකුයිනේ ලොකු අම්මටත් වඩා...ගියා රොත්තම..ඔන්න දැන් නාහෙන් අඬනවා ලමයි වෙන්වෙලාය, අපි තනිවෙලාය..මල වදේ..ඒ අස්සේ ගොරක බ්ලොග්පෝස්ට්ටුත් දානවා ලොක්කො වගේ..
      අනේ මන්දා බං..අර වට්ටෝරුව එවහන් හොඳේ..!

      Delete
    4. //ඒ අස්සේ ලමයිගේ අධ්‍යාපනේ නිසා මයිග්‍රේට් කරලා නහින දෙහින කාලේ අනාගෙන ඉන්න මගේ යාලුවෝ ගොඩාක් ඉන්නවා ඕස්ට්‍රේලියාවෙ..උන්ට ඒ දවස්වල කිව්වා ලමයිව ඇරපල්ලා බොලා යන්න එපාය කියලා..කොහේද ලන්කන්ස් ලාට දෙකයි පනහ ලොකුයිනේ ලොකු අම්මටත් වඩා...ගියා රොත්තම..ඔන්න දැන් නාහෙන් අඬනවා ලමයි වෙන්වෙලාය, අපි තනිවෙලාය.//

      ජීවිතේ සමහර තීරණ පස්සේ වෙනස් කරන්න පුළුවන් එච්චර හානියක් නැතුව. මේක වෙනස්. ළමයි එහෙ හැදුනම උන්ට මෙහෙ සෙට්ල් වෙන්න බැහැ. එක්කෝ මහ වුණ් එන්න ඕන නැත්නං විඳින්න ඕන. බොහොම ස්තූතියි චෙෆාකි.

      Delete
    5. එහෙමමත් නෑ ඉයන්..මගේ උන් දෙන්නා ඔය යස අගේට (ටච් වුඩ්) ඔය සෙට්ල් වෙන්නේ හෙමීට...උන් මට වඩා නෝමල්...වෙලාවක උන් දෙන්නා එක්ක කථා කරන්න ලේස්ති කරන්න ඕනි ඔයාට..එතකොට තාත්තා ගැන ඉයන් තුමාගේ ඔය තියන නාස්ටි ආකල්ප හොඩාරියක් අළු දූලි වෙලා යනෝ සත්තයි..

      Delete
    6. ගිහිල්ල එනකොට තාත්තාට අයිති කොම්පැණි තියෙන්නේ කීදෙනාටද චෙෆාකි.?

      Delete
  14. මිනිස්සු හැමදාම ඇණගන්නේ වැටෙන් එහා තණකොළ කන්න ගිහින් තමා.. හැබැයි ලෝකය දියුණු වෙන්නෙත් වැට පනින උන් නිසා තමා...

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා. ඒකත් ඇත්ත.

      Delete
    2. නෑ සෙන්නා...වැට විතරක් පැනලා මදි..!

      Delete
    3. කොටු පනින්නත් ඕන නේද චෙෆා?

      Delete
  15. මේ ලිපිය ලියන්න මමත් උබට එක කාරනාවක් උනා නේද? ඇත්ත මචෝ උබ කියලා තියන ඒවා ඇත්ත..
    ගාමන්ට් වල ඇත්තත් ඕකම තමයි මෙහෙ අතිකාල කරලා ගන්න පඩිය වෙන රටවල ගිහින් බලු දුක් විදලා බැනුම් අහලා ගන්නවා
    එල ද බ්‍රා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා උඹ මට එදා උදේ කියපු දේත් හිතේ තිබුණා

      Delete
    2. ලොකු තීරණයක් ගන්න උබගේ මේ ලිපිය උදව් උනා

      Delete
  16. කෝ උබ මේ පාර අපිට සින්දුවක් අහන්න දුන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. මෙන්ඩො සිංදුවක් දීල තියෙන්නෙ. උඹට ඩෝප්ද? චෙෆාකිය බොන්න දුන්නද?

      Delete
    2. යක්සයෝ..ඉයන්..බොසා නේද මුන් ඔක්කොටම බොන්න දෙන්නේ..හෑ..!

      Delete
    3. මම කිව්වේ බොන්න දීලා සිංදුවක් අහන්න දෙන එක

      Delete
  17. මාතෙ: ලිප ගිණි මොලවන තෙක් දිය සැලි යේ
    සැපයක් යැයි කකුලුව , දිය කෙලියේ

    ඉයන්:ඉපදී උණුසුමෙ පින්බර ලක්බිම
    ඒ සුව විඳිනට පින් මඳවී
    සීතල නොරටක මුල්ලක ගුලිවී
    සිතින් සරන්නෙමි උපන් බිමේ

    මාතෙ:අනික සීමිත සම්පත් ටිකක් තියෙන මේ හිඟන රටේ දුක් විඳිනවට වඩා නරකද?
    ඊට වඩා සැප විඳිමි කාන්සියෙන් ඉන්න එක. නිවාඩුවකට මෙහේ ඇවිත් යන්න බැරිය.
    එහෙම නැහ්නන් පැන්සොන් ගත්තාම එනවා ගම රට.

    හැලප්යියේ කරුණක් අසමී, හැලපයියල ඔව්වා දණිතී. එරටද, මෙරටද වැඩිය හොඳ යැයි පහදා දෙනු මැනවී.

    හැලපයියා: එරට හොඳයි කිව්වත් වැරදී....

    ඉයන්: හූ...හූ

    හැලපයියා: මෙරට හොඳයි කිව්වත් වැරදී....

    මාතෙ: හූ...හූ

    හැලපයියා: එනිසා මගෙ බුදු මල්ලියෙ පවසමි දෙරටම හොඳය කියා.

    ඉයන්ට යන්න පුළුවන්කම තිබ්බා ඒත් ගියේ නෑ. ඒ නොගිය එක ගැන පොඩි පසු තැවීමක් තියනවා වගේ. මේ ලිපියේ අරමුණ ඒ තීරණය සාධාරණීකරනය කර ගැනීම වගේ පේන නිසා වැඩියමක් නොලියමි. ඒත් යකා ඔය කියන තරම් කලු නැත. එසේ නොවේ නම් ඉයන් ඔහුගේ දරුවන් "යකාගේ" දේශයට බාර දෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ. නියම සිංදුව. පොඩි නිවැරදි කිරීමක්. හැලපෙ ඉන්නෙ සංක්‍රමණය වෙලාම නෙමෙයි නේද? මැද පෙරදිග ගිහින් වැඩ කරන එක තමන්ගේ ප්‍රාග්ධනය ඉහල මට්ටමකට ගේන්න හොඳයි. අනික මැද පෙරදිග යන අය යන්නේ හොඳ ජොබ් එකක් හදාගෙන. මම මේකෙන් අදහස් කලේ එහෙම නැතුව අනික් රටවලට පදිංචියට යන එක.

      අනික් නිවැරදි කිරීම. මම ගොඩක් තරුණ කාලේ ගියේ නැති වුණාට ඊට පස්සේ නිවාඩු පිට 'සංක්‍රමණය' කරලා පාස්පෝට් පුරවැසිකම් හදාගෙන ආපහු ආවා. මගේ ළමයි ඒ රටේ සිසු ණය යටතේ ඉගෙන ගන්නවා. මට ඕන දවසක එහෙ ගිහින් ආයිමත් පදිංචි වෙන්න පුළුවන්. ඒක නිසා මේක ලිව්වෙ මිදි පැණි රසයි පදනම උඩ නෙමේ.

      Delete
  18. කිසිම දවසක හිතපු නැති විදිහට මමත් ලංකාවෙන් ආවට ඉයන් කියන අදහසට මමත් එකඟයි. ලංකාවේ හොඳින් ඉන්න බැ කියල වෙන රටවල යන එක නම් තේරුමක් නැ තමයි. ඒත් ඉයන් එන්න හදන අයට ඒක කිව්වට තේරුන් ගන්නේ නැනේ, සමහර වෙලාවට වැරදි වැටහිම් ඇති කර ගන්න ඉඩ තියනවා, අපි ඇවිත් එයාලා එනවට අකමැත්තෙන් කරුණු කියනව කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් ටික කාලයකට උඩදී ඉහළ තනතුරු තිබුණ මම දන්න කපල් එකක් රස්සාවල් දාලා මම හිටිය රටටම යන්න හදන කොට මම ඒගොල්ලන්ට විස්තර කිව්වා. ඒ වුණාට ඒගොල්ලෝ ගියා. ඊට පස්සේ මම කරපු විදිහට පාස්පෝට් අරගෙන ආපහු ආවා. ආයිමත් මෙහෙ සෙට් වෙන්න සෑහෙන්න අමාරු වුණා. ඊට පස්සේ ඒගොල්ලො කීවේ එහෙ ගියාම මම කියපු දේ ඇත්ත කියල තේරුණා. ඒ වුනාට ඒගොල්ලෝ මම ඉරිසියාවට කියනවා කියලා හිතුවා කියලා. ඇත්තම ඇත්ත සිද්ධියක්. ඒක නිසා චතූ කිව්ව නාහන වාහෙ කියල හිතාගෙන ඇවිල්ලම කට්ට කන්න දෙන්න.

      Delete
    2. @ඉයන්...ඔන්න ඔය ඉරිසියාවට කියනවාය කියන දූපත් මානසිකත්වය පෙන්නුවා අර මම උඩ කිව්ව කස්ටියත් මම ඔය දේ ගැන කිව්වම...කොහෙද දෙකයිපනහ ලොකුයිනේ ලොකු අම්මටත් වඩා....
      ඉයන්..ඉකොනොමික් මයිග්‍රේශන් ගැනත් ලියන්න...යටින් දුවන යථාර්තය ඒකම නිසා...කාලීනයි...!

      Delete
    3. ඒක ඇත්ත ඉයන්. මම බ්ලොග් ලොකේ තරන් සාමන්‍ය ජීවිතේ කතා කරන කෙනෙක් නෙමේ. එන අයට එන්න දීලා පුලුවන් උදව්වක් කරලා දෙනවා. සමහර අය නම් කට්ට කාලා තැනකට ඇවිත් අපිටත් උදව් කරනවා, ඒ අතරේ ආපහු ගියා නම් හොඳයි කියලා හැමදාම කියන අයගෙන් ටිකක් ඇත් වෙලා ඉන්නවා මම.

      Delete
  19. ඉයන් මාමගේ කටට සීනි ලොරියක් ගෙනත් හැලුවත් මදී... ඇත්තම ලියලා ... කාලයත් එක්ක මිනිස්සුන්ට අමතන වෙනවා රට එන්නේ කීයක් හරි හොයාගෙන යන්න කියලා.... අපි ආව මුලික අරමුණ මතක නම් පසු කාලෙදි පසු තැවෙන්න වෙන්නේ නෑ ...... මේ ගැන ලියන්න පුළුවන් පොතක් හරි.... සින්දුව රස වින්දා බෙහෙවින් ස්තූතී මේ සටහන තිබ්බට

    ReplyDelete
    Replies
    1. කිඹුලී දුවේ කොහෙද ළමයෝ ගිහිල්ලා හිටියේ? කාළෙකින් නොවැ දැක්කේ!! බොහොම පිං කමෙන්ට් එකට. ඒවුණාට දුවේ මේ ඩයබීටිස් තියෙන අපි වගේ සීයලාට සීනි ලොරියක් කටට දැම්මොත් නම් කෝමාම තමයි. හෙහ් හෙහ්

      Delete
  20. මෙම ලිපිය නෙළුම්යායේ පළ කිරීම ගැන අජිත් මහතාට මගේ ස්තූතිය.

    ReplyDelete
  21. හැම දෙයකම ආවස්ථික පිරිවැයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පිරිවැයත් වාසිත් සලකළ බලල තීරණය කල යුතුයි. එම පිරිවැය ගැන නොදැන සියල්ල රෝස මල් යහනාවක් කියල හිතාගෙන යන එක තමයි දුක් විඳින්න මුල. ඒ දුක් විඳින අයත් එසේ වින්ඳයින් පසුවත් ඒ ගැන වැඩි කථා බහක් නොවීම නිසා ඔවුන් දිහා බලන අනික් අය පිටරට යනු සුරපුරක් සහ මෙහෙ අපායක් ලෙස සිතනවා. Thank you Sali

      Delete
  22. ඉයන් ගේ සින්දුවට කැමතියි. මගේ පොතේ අර මගේ පියා ගැන ලීයූ ලිපිය බැලුවොත් තේරෙයි මට සෑහෙන දුකක් තිබුන ඒ ගැන. මම ලංකාවට ආව නම් විදුලි ඉංජිනේරුවෙක්. ඒ නිසා මට ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නැහැ. නමුත් මම ගත්තේ තීරණය ගැන දැන් පසු තැවෙන්නේ නැහැ. මගේ ළමයින් මවා බලන්න ඕනේ කියල අදහසකුත් නැහැ. මොකද විශ්‍රාම ගැනීමෙන් පස්සේ ජර්මනියට යනවද ලංකාවට එනවද කියන එක මම තීරණය කරලා නැහැ. හොඳ රැකියා කරන යහළුවෙක් දෙන්නෙක ලනක්වේ ඉන්නවා. උන් සමහර විට කියනවා මචන් උඹ ගත කරන ජීවිතය ගැන ඉරිසියයි වෙලාවකට. ලංකාවේ අපට වඩා උඹට නිදහස තියනවා කියල. ඉයන් වගේ, චෙෆාකි වගේ සරසා වගේ ය ඉන්නේ බොහොම ටිකයි. අනික දෙන්නෙක් ගේම ළමයි පිටරට යවල උගන් වන්නේ. කින් කි දෙනාටද එහෙම පුළුවන්.

    ReplyDelete
  23. මම නම් ලංකාවට ආදරෙයි. ඒ නිසා සිංහල කැමතියි. භාෂාවට ආදරය කරන නිසා. හැබැයි ඒ ආදරයම වෙනත් විධිහකින් රුසියානු භාෂාව කෙරේ තියනවා. මගේ සහෝදර සහෝදරියන්ට මම වගේ රට රටවල යන්න අවස්ථා නැහැ. මම නිවාඩු හතරක් වත් අවුරුද්දකට යනවා. දැන් ඉන්නේ මොස්කව් වල. ඉයන් ඔය කියන ලොකු ප්‍රශ්න මට නම් නැහැ. මව ගැන දුකක් තියනවා. නමුත් හැකි හැම විටම බලන්න එනවා. හැම සතියකම කතා කරනවා.ඒ ඇරෙන්න මොකද්ද බං ප්‍රශ්නේ. හවසට බියර් එකක් ගහල බ්ලොගක් කියවගෙන ඉන්න කොට.

    ReplyDelete
  24. මගේ අදහස් නම් මුදල් තියේ නම් හෝ රැකියාවක් තියේ නම් කොහෙත් හොඳයි. මට උදේ නමයට ගිහින් හවස 5.45 ට ගෙදර එන රැකියාවක් තියෙන්නේ. ඒ නිසා අවුලක් නැහැ. ඊයේ යාළුවෙක් හමු වුණා . හොඳ සක්සේස්ෆුල් බිස්නස්මන් කෙනෙක්. (පොරගේ නම පිටරට කොම්පැනියක් තිබෙන නිසා පැනමා ලිස්ට් එකෙත් තිබ්බ) මම ඇහුව දුක නැත්ද කියල ලංකව ගැන හිතුවම. පොර ගත් කටටම කිව්වේ ලංකාවේ හිටියනම් සාමන්‍ය විධිහට ඉඳි. මේ ඉන්න විධිහට ඕන වෙලාවක ඕන රටකට යනවා. කිසි අවුලක් නැහැ කියල. ඒ නිසා ඉයන් අමාරුවෙන් රැකියා කරන එකත් ලංකාවේ නැති නිදහස පිට රටක තිබෙන නිසා එනවා කියල මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් මේ ලිපිය වැඩියෙන්ම ලිව්වේ අද මෙහෙ ඉන්න සංක්‍රමණය කරන්න අදහසක් තියෙන අය වෙනුවෙන්. ඔබ විදේශයක ඉගෙන ගත් නිසා රටින් පිට ජීවත් වීමට පුරුදුවී සිටියා. ඔබ ශිශ්‍යයෙක් විදිහට ගියේ ඉන්න තැනක් තිබෙන තැනකට. අනික එවිට ඔබ අවිවාහකව සිටියා. අද සංක්‍රමණය කරන්න සිතන විවාහක දරුවන් සිටින කෙනෙක් ඔබ අද සිටින තත්ත්වය දැක සියල්ල හොඳයි කියල ගියාම රැකියාවක් හොයාගෙන, හරියට ඉන්න තැනක හොයාගෙන සෙට්ල් වෙන එක කට්ටක් කෑමක්. එහෙම වුණායින් පසුව ලංකාවේ සිටින මව්පියන් ගැන ඊට පස්සෙ ළමයින් විවාහ වී ගියාට පසුව ආදී වශයෙන් තිබෙන සංකීර්ණතා සියල්ල සිතා බලා කොස්ට් බෙනිෆිට් ඇනලයිස් කරලා තීරණයක් ගැනීම වටිනවා. එහිදී සංක්‍රමණයේ නෙගටිව් පැත්ත ගැන වැඩි කථාවක් නැති නිසා කවිඳුගේ ලිපියකට පිළිතුරක් වශයෙන් තමයි මෙම ලිපිය. අඩුම වශයෙන් එහෙම යන කෙනෙකුට එම සංකීර්ණතා පිළිබඳව මානසිකව සූදානම්ව යන්න.

      Delete
  25. ගානක් හොයාගන්න තමුන්ගෙ කාලයට , ශ්‍රමයට වැඩි වටිනාකමක් ලබාදෙන ආයතනයක්,රටක් කරා එලඹෙන එක සාමාන්‍යයි.හැබැයි එතනින් එහාට තීරණ ගන්න ඕනෙ තමුන්ගේ මානසික ඔරොත්තු දීමේ හැකියාවත් එක්ක.රෝමෙට ගියොත් රෝමන් කාරයෙක් 'වගේ' වෙන්න ඕනෙ. පදිංචියට රට ගිහින් කරවල හොදියි සම්බෝලයි බතුයි කාල අම්ම තාත්තට වැඳලා සංතෝසෙන් ඉන්නවා කියල බලාපොරොත්තු වෙනව නම් ඒක මහ විකාරයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලස් ගබ්බා මහතා බොහොම ස්තූතියි

      Delete
  26. වෙනස් අයත් ඇති නමුත් වැඩි දෙනෙක් හෝ බොහෝ දෙනෙකුට අදාල ලිපියක්.

    සමහර දේවල් වැටෙන් මෙහා හොඳයි සමහර දේවල් එහා හොඳයි.
    වැඩි හොඳ කොහෙද කියන එක තීරණය වෙන්නේ ආකල්ප අවශ්‍යතා හැකියාවන් කැමති දේ වාසනාව තෝරා ගැනීම් ආදිය මත

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා. ඕනම එකක් වගේ ඒ ඒ එක්කෙනා අනුව වෙනස් විදිහට බලපානවා නේද?

      Delete