Monday, September 21, 2015

පිය සෙනෙහස

මේ දවස් වල තාත්තලා ගැන පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා.  මස් රොටි ඉල්ලලා ගේ දෙවනත් කරමින් අඬපු තිලක සිතටත් මස් රොටිය ලැබුණේ තාත්තා නිසා. මගේ සිත් ගත් තව කථාවක් තමයි ගුරුවරයෙකු නොවුනත් ගුරුවරයෙකුට එහා ගිය දැනීමක් ලබා දුන් තාත්තා කෙනෙක් ගැන Dude ගේ මේ පෝස්ට් එක.  තව එකක තිබුණේ ගෙදර එනකොට ටොෆී ගේන්න අමතක වෙලා තාත්තා ආපහු හැතැක්ම දෙකක් ආපහු පයින්ම ගිහිල්ලා ටොෆී අරගෙන එන එකක් ගැන. කොයි බ්ලොග් එකද කියල මතක නැති නිසා හම්බුවුනාම ලින්ක් දාන්නම්අපි හැමෝම ඒ අතින්  වාසනාවන්තයි. අපේ ළමා කාලයේදී අතේ එල්ලිල යන්න නැත්නම් අර බස්සි වගේ ඇඟිල්ලක එල්ලිලා යන්න, තරුණ කාළයේදී අපි කරන පිස්සු වැඩත් එක්ක ඔට්ටු වෙන්න, අම්මලාගෙන් එන ගෝරි වලින් අපිව ශේප් කරල දෙන්න ආදී වශයෙන් අපේ ජීවිතේ තාත්තා කෙනෙක් හිටපු නිසා එක එක සුන්දර අත්දැකීම් තියෙනව. මගේ තාත්තත් මගේ ක්ශේත්‍රයට සම්බන් ක්ශේත්‍රයක හිටපු නිසා මම රස්සාව කරන්න පටන් ගන්න කාළේ මාව ගොඩක් දෙනෙක් දන්නෙ 'අහවලාගෙ පුතා' හැටියට. මමත් ඉතින් පිස්සු වැඩ කරල අහුවුණාම බේරෙන්න ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත.

බොහෝ රටවල තාත්තලා නැතුව හැදෙන ළමයි ඉන්නවා. ලංකාවෙත් යුද්ධ නිසා තාත්තලා නැතිවුන අය ගොඩක් ඉන්නවා. තාත්තා කෙනෙක් නැතුව හැදෙන ළමයෙකුගේ ජීවිතය කොයි වගේ ඇත්ද? අපිට එක එක දේවල් හිතන්න පුළුවන්. ඒ වුනාට එහෙම ළමා කාලයක් තිබුණ කෙනෙකුට ඇරෙන්න ඒ අත්දැකීම විස්තර කරන්න බැහැ කියලයි මගේ නිගමනය. 

මමත් තාත්තා කෙනෙක්. මගෙ ළමයින්ට මගේ පොඩි කාළේ වගේ දෙමව්පියො දෙන්නම එකට හිටියේ නැහැ. මගේ ළමයින්ගේ දෙමව්පියෝ හිටියෙ ලෝකේ දෙපැත්තක තියෙන රටවල් දෙකක. සමහර වෙලාවට ඒගොල්ලො බලන්න ගිහිල්ල ආයිමත් පිටත් වෙනකොට ඒගොල්ලන්ගෙ මුහුණු වල හැඟීම් බර බව, මාත් එක්ක නිවාඩුව ගතකරල ආපහු යනකොට ඒගොල්ලො කඳුලු හිරකරගෙන එයාපෝට් එකට යනකං ගිහිල්ල බැරිම තැන අඬා වැපෙන හැටි මගේ මතකයේ තියෙනවා.  මේ ඔක්කොම මගේ ජීවිතේ මට තාත්තා කෙනෙක්ගේ හැටිය ලබපු අත්දැකීම්.මගේ දුව අවුරුදු නමයක් වෙනකොට තාත්ත නැතුව බෑ කියලා එයාගේ අම්මත් එක්ක කොච්චර රණ්ඩුවුණාද කියවනම් එයාව මගේ ගාවට එවන එක ඇරෙන්න වෙන උත්තරයක් ඒගොල්ලන්ට හොයා ගන්න බැරිවුණා. කොහොම හරි දැන් ඒ ගොල්ලො යාන්තන් ලොකු වෙලා දෙමව්පියො දෙන්නම නැතුව වෙන රටවල් වල විශ්ව විද්‍යාලවල.

මේ කාරණය නිසා තාත්තා කෙනෙක්ගෙ ආදරය ගැන මම හරි සංවේදීයි. මගේ ළමයින්ට මගේ කුඩා කාළයේ වගේ තාත්තයි අම්මයි එක ගෙදරක ඉන්න තිබ්බ නැති එක ගැන මට අසතුටක් තිබ්බා. ඒ වුනාට මිරිවැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි කියන දේ හරියටම තේරුණේ මට අහම්බෙන් හම්බුවෙච්ච තුසිත පෙරුමාබදු කියන සිංදු වීඩියෝ අධ්‍යක්ශණය කරන තරුණයා නිසා. මගේ මේ වීඩියෝ එක  අධ්‍යක්ශණය කළෙ ඔහු. ඒ දවස්වල ඔහුගෙ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒක ගැන මට කියන කොට එයා කිව්ව එයාගේ තාත්තා එයා පොඩි කාළෙම ඒගොල්ලන්ව අත ඇරදාල ගිය නිසා එයා තාත්තා කෙනෙක් වෙනකොට එයාට මොනවගේ හැඟීමක් එයිද දන්නේ නැහැ  කියලා. එයා හිතුවේ ඒ ගොල්ලන්ව අතෑරලා ගිය නිසා තාත්තාට එයා ගැන ආදරයක් හෝ හැඟීමක් නැතුව ඇති කියලයි.  

කොහොම හරි එයා තාත්තා කෙනෙක් වුනා. ඊට පස්සේ දවසක එයා මට තාත්තා කෙනෙක් වෙච්ච වෙලාවෙ එයාට ආපු හැඟීම විස්තර කළා. එයාගෙ නොදැකපු තාත්තා ගැන සෙනෙහසක් ඇතිවුනේ එයා තාත්තා කෙනෙක් වුන දවසේ කියලා තමයි එයා කිව්වෙ. මම දන්න විදිහට ඊට පස්සේ එයා එයාගෙ තාත්තව හොයාගෙන ගිහිල්ල කථා කරල තිබ්බා.  එයාගෙ ඉල්ලීමට එයාට ආපු හැඟීම් රචනා කරලා ගීයක් හදලා දුන්නා. මේ ගීතයේ සංගීතය දර්ශණ රුවන් දිසානායකගේ. ගීතය ගායනා කළේ අජන්තා පීරිස් කියන ගායකයා. අජන්තා වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක්. එයා මගේ තව ගීතයක් ඇතුළුව ගීත කිහිපයක්ම කියලා තියෙනවා. 

මෙන්න ගීතයේ පද මාලාව.

මගේ සෙනෙහසින්, මෙලොවට බිහිවී
කිරිකැටියෙක් මගෙ, දෝතට ආදා
අපි තනිකරදා, වෙනතක ගිය
මගේ පියාණන්, සිතින් හැඳින්නා

ඔබ නොදුටුවදා, මගෙ සිත සිතුවේ
ඒ සෙනෙහස මට, අහිමි කියා 
හදින් හැඳිනි දා, මා ඒ සෙනෙහස 
ඔබ විඳි දුක දැනි, මගෙ නෙත් හැඬුවා 

හිස පිරිමැද මගෙ, පුතේ කියන්නට
මා ලඟ නැතිවිට, ඔබත් හඬන්නැති
කිසිදා නොසිඳෙන, පිය සෙනහස දැනි
කඳුලැලි හංගා, සිතින් තැවෙන්නැති


සංගීතය දර්ශණ රුවන් දිසානායක
ගායනය අජන්තා පීරිස් 


මේ ගීතය මොනයම් හේතුවක් නිසා හෝ දරුවන් ලඟ නොමැති සියළුම පියවරුන් වෙනුවෙන්.



55 comments:

  1. Replies
    1. THANK YOU !! Ano, Glad you enjoyed it.

      Delete
  2. ඉයන්, මේ හැඟීම දැනෙන්නෙ දෙමාපියො ලඟ නැති දරුවන්ටයි. මටත් අවුරුදු පහෙන් පස්සේ ඔය හැඟීම දැනුනා. ඒ නේවාසික පාසලක සිටි නිසා. අව්රුද්දේ මාස තුනයි ගෙදර ඉන්න ලැබුනේ. ඉතිරි මාස නවය ම ඔය දෙමාපියො ලඟ නැති හැඟීම දැනුනා හොඳට ම.

    සින්දුවත් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන් ඒ වගේම දෙමව්පියොන්ටත් දරුව ලඟ නැති කම දැනෙන්න ඇති. බොහොම ස්තූතියි ආවට. ඔබගේ අගය කිරීම හැමදාමත් වටිනවා.

      Delete
  3. මේවා ලියලා මාව අඬවන්න එපා සහෝ....... අද මාත් තාත්තා කෙනෙක් දුවල දෙන්නකුගෙම. මගේ තාත්තා මට නැතිවුණේ මං ඕලෙවල් ලියන්න සතියක් තියලා. කුරිරු ත්‍රස්තයන්ගේ ප්‍රහාරයකින්. මට කියන්න හැකි මෙච්චරම තමයි. තාත්තලා දරුවන්ට හැමදාමත් ආදරෙයි ඒක අම්මගේ තරම් එළි පහළියට නොපෙනුනාට. දරුවන් ගැන තාත්තලා හිතන විදිය ඒ දරුවන් වෙනුවෙන්......... බෑ බෑ එචිචරයි.
    අද හැලපෙත් මේ වගේම කතාවක් ලියල තිබුණා. අර ඉහළ ඔයා කියන්නේ ඩුඩ් ගේ අපේ හෙන්රිගේ පෝස්ට් එක වෙන්න ඕනි. ඒකේ තිබ්බේ ගුරුවරයෙක් නොවුණත් ගුරුවරයෙකු වූ තාත්තා කෙනෙක් ගැනයි.හැකිනම් මට ඔබේ මේලය හෝ අංකයක් එවන්න. ndilruksha@gmail.com ඔබ සමග ටිකක් කතා කරන්න කැමතියි.

    ReplyDelete
  4. මේ සංවේදි පද රචනයට ස්වර රචනයෙන් ද කට හඬින්ද දර්ශණ රුවන් දිසානායක
    සහ අජන්තා පීරිස් උපරිම සාධාරණයක් කර තියනවා...... අනේක වාරයක් ස්තුතියි ඔබ තිදෙනාටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින්. මගේ හැම පෝස්ට් එකකටම ඔබේ අවංක අදහස් සහ දිරිමත් කිරීම් ලැබුණා. බ්ලොග් අවකාශයේ එතරම් අත්දැකීම් නැති මට එය ඉතා වටිනවා.

      Delete
  5. තාත්තලා, අම්මලා, බාප්පලා, සීයලා, නැන්දලා, මාමලා, අංකල්ලා, ඇන්ටිලා.. එකී මෙකී නොකී මේ අය ජෙනරලයිස් කරලා කතා කරන්න බෑ. මේවා සෙන්ටිමෙන්ටල් පෝස්ට්. අවුලක් නෑ. මිනිස්සුන්ට මේවත් ඕන. නමුත් යථාර්තය මෙය නොවේ.

    ReplyDelete
    Replies
    1. කේන්ද්‍රික බොහොම ස්තූතියි පැමිණීමට. ඔබ කිය දේ හරි. ඒවගේම එක එක් කෙනාගෙ විෂේශිත අත්දැකීම් අනුව ඔබ දැක්වූ අයගෙන් එක්කෙනෙක් සමඟ විෂේශ බැඳීම හෝ ගැටීම් ඇත්වීම වෙන්න පුළුවන් නේද?

      Delete
    2. අනිවාර්‍යෙන්ම. පුද්ගල පෞරෂයන්, අවශ්‍යතා,වටිනාකම් වගේ දේවල් එකිනෙක ගැටෙද්දි එකිනෙකා අතර විශේෂ බැඳීම් වගේම නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. ඔයාගෙ ලිපිය සිත්ගන්නා සුළුයි. මම මතුකල අදහස ඔය කියන අම්මා, තාත්තා වගේ භූමිකා මොකවත් එක කොටුවකට දාලා ජෙනරලයිස් කරන්න බෑ කියන එක. උදාහරණයකට, අම්මලා දරුවන්ට හරිම ආදරෙයි. දරුවන්ට කවලා අම්මලා කන්නේ, හැමවෙලේම තමා ගැනට වඩා දරුවන් ගැන හිතන්නේ.. වගේ අම්මලාගේ හැසිරීම මෙහෙමය කියලා අම්මා කියන චරිතය ගැන පොදු රාමුවක් හදන්න බෑ. ඒත් අපේ ඔලු වල එහෙම පොදු රාමුවක් හදලා තියෙනවා. අපි පුරුදු වෙලා ඉන්නෙ අම්මා කියන කෙනාව අන්න ඒ රාමුවට සාපේක්ෂව මනින්න මිසක් එක් එක් පුද්ගලයාගේ (එක එක අම්මලාගේ) ක්‍රියාපටිපාටිය අනුව ඔවුන්ට සුදුසු තැන හෙවත් නිසි ඇගයීම දෙන්න නෙමේ. ඒක නුසුදුසු වැරදි වැඩක්. මොකද ඒක යහපත් කියල සලකන්න පුළුවන් අම්මලට වගේම අම්මලා එක්ක ගැටෙන අනෙක් පුද්ගලයින්ටත් කරන අසාධාරණයක්.

      මොනව වුනත් ඔබේ ලිපිය ආසාවෙන් කියෙව්වා. සුභ පැතුම් ඔබට. දිගටම ලියන්න, කියවන්න දිගටම එන්නම්.

      Delete
    3. මට තේරුණා ඔබ කියන එක. ඔව් අපේ 'සම්මත' යැයි පිළිගත්ත එකක් තියෙනවා. ඒකෙන් පිට යනකොට හොඳයි හෝ නරකයි කියන්න පුරුදුවෙලා තියෙනවා. ඒක නේද ඔබ කිව්වෙ. ඒ උනාට අපි නරකයි කියන එක් හැසිරීමක් අවස්ථාව පුද්ගලයෝ දෙන්න මත (මව හා දරුවා) හෝ එක්කෙනෙක් මත හොඳ වෙන්නත් පුලුවන්. මට කලින් නොහිතිච්ච දෙයක්. බොහොම ස්තූතියි. ඉගෙනගත්තා යමක්.

      Delete
  6. සම්බන්ඳයක වැඩි වටිනකමක් දැනෙන්නේ ලගින් නොයින්න කොට.. මටත් අපේ ගෙදර ගැන හැඟීම දැන් එහෙමයි.. මොකද ලග නැති නිසා.

    සිංදුව නම් ටිකක් නුහුරුයි.. බෙදා හදා ගත්තට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. එම දුරස්ථ භාවය ඔබලාව තවත් සමීප කරන්න ඇතැයි සිතනවා. ස්තූතියි.

      Delete
  7. අනගි පද්‍ය නිර්මාණයක්. බෙදා හදාගත්තට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබගේ අගය කිරීම ඉතා වටිනවා. මගේ ස්තූතිය.

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි බස්සි. බ්ලොග් ලෝකයේ දැවැන්ත චරිතයක් මගේ බ්ලොග් එකට පැමිණීමට නිහතමානී වීම ගැන මගේ ප්‍රණාමය.

      Delete
  9. උඹට උවමනාව තියෙනවා.. දිගටම ලියපං..

    ReplyDelete
    Replies
    1. දේශක බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකට පැමිණීම සහ දිරිමත් කිරීම ගැන. ලඟකදි බ්ලොග් ලෝකයට ආවම මම මුළින්ම කියවපු බ්ලොග් එකක් ඔබේ බ්ලොග් එක.

      Delete
  10. අපූරු නිර්මාණයක්..
    පොඩි කාලෙ අපිත් පෙරළිල ඇති මොනා හරි ඉල්ලල.. ඒත් ඒ හැගීම ඇත්තටම තාත්තෙක්ට දැනෙන විදිය බලන්න නං අපිට තාත්තලා වෙලාම බලන්න වෙනව.. බලමු නේ දවසක..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් මගෙ බ්ලොග් එකට නිතර ඇවිත් දිරිමත් කරනවාට. ඕනම දේක පිටින් ඉඳගෙන දැනෙන දේට වඩා තමන්ම අත්විඳින කොට තමයි නියම රසය/දුක තේරෙන්නේ.

      Delete
  11. Good stuff Ian....enjoyed your songs...keep on posting my friend...

    ReplyDelete
    Replies
    1. Thank you Chef-archi. The happiness one gets when someone enjoys one's work is immense. I am grateful to you for that.

      Delete
  12. කියවලා ඉවරවෙලා සිංදුව හොයන්න ගූගල් එකට ගියා. කමෙන්ට් එකක් දාන්න බැරි උනා... සොරි ඈ...

    ReplyDelete
    Replies
    1. මචං මොහොම ස්තූතියි. සිංදුව උඩ පෝස්ට් කරල තියෙනවානෙ. මගෙ බ්ලොග් එකට subscribe කළාටත් ස්තූතියි.

      Delete
  13. ලස්සනයි.......... තාත්තගෙ ආදරේ ගැන වචනෙන් කියන්න බෑ................. ඔබේ පද රචනය අපූරුයි.............

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අවංක. ඒක අම්මගෙ ආදරේ අඩුකොට සැලකීමක් නෙමෙයි. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනව. බොහොම ස්තූතියි ආවට සහ අගය කළාට.

      Delete
  14. ඉයන් ටිකක් පරක්කු වෙලා එන්න උනේ.ඉයන්ගේ ගීත අමුතුවෙන් අගය කරන්න දෙයක් නැනේ.කලින් ගීත කිහිපයක් ඩවුන්ලෝඩි කරගත්තා.කාල වෙලාව අනුව අනිත් ඒවත් අරගන්න ඔන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ. ඔබේ වචන ලොකු සතුටක්.

      Delete
  15. ඔන්න ඔබ මගේ අඩවියට ඇවිත් කළ ඇරයුම ඔස්සේ මෙතනට ආවා. හරිම හොඳයි. ඉහලයි. බොහොමයක් බ්ලොග්වල දකින්නට ලැබෙන මෙලෝ රහක් නැති දේ අතහැර, හරවත් යමක් ලියන්නට ඔබ උත්සාහ දරන බව පැහැදිලිවම පෙනෙනවා. ඔබට ප්‍රශංසා කරන අතරම ඉදිරියට යාමට ආශිර්වාද කරනවා.

    ඉංග්‍රීසියෙන් Ian's Den කියලා, සිංහලෙන් ගුහාව, ගල්ගේ, බලකොටුව, වගේ එකක් දැම්ම නම් හොඳ නැද්ද.

    අපි පෙරදිග මිනිස්සුනේ. ඉතිං අපි ලෝකේ කොහේ හිටියත්, අපේ ජාන ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. අපි හැදිලා තියෙන්නේ කුඩා කාලයේදී හැකිතරම් දෙමව්පියන් එක්ක ඉන්න. එහෙම නොවුනොත් ඒ ළමයි තමන්ගේම ලෝක මවාගන්නවා. සමහරවිට එයින් අනිටු ප්‍රතිවිපාක ලැබෙන්න පුළුවන්.

    අහලා තියනවද අර වයසක තාත්තා එක්ක උද්‍යානයේ බංකුවේ ඉඳගෙන හිටිය පුතාගේ කතාව?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක මහත්මයා. ඔබවැනි ජේශ්ඨ බ්ලොග්කරුවකු මගේ බ්ලොග් එකට ආව එක ගැන. වයසින්නම් මගේ අනුමානය අපි එක වයසක වෙන්නත් පුළුවන්. ඒ උනාට බ්ලොග් වලට ටිකක් අළුත්. මම අර කථාව දන්නෙ නැහැ. හැකිනම් කියන්න. නැවත්ත මගේ ස්තූතිය.

      Delete
    2. හෙහ් හෙහ්, එහෙනම් මගේ අනුමානයත් හරිගියා ඔබ මගේ වයසට ආසන්නයි කියන එක.

      අර කතාව මෙහෙමයි. විශ්‍රාමිකව සිටින, ඇස් පෙනීම අඩු, තම පියා සමග, ගෙඋයනේ බංකුවේ වාඩිවී, දැන් ලොකු රස්සාවක් කරන පුතා, පත්තරයක් බලනවා. එකපාරට සද්දයක් ඇහෙනවා. තාත්තා අහනවා, ඒ මොකක්ද කියලා. පුතා කියනවා ගේ කුරුල්ලෙක් මේ මෙතන පඳුරක වැහුවා, කියලා. පියා නිහඬ වෙනවා. ආයෙත් ටිකකින් සද්දයක් එනවා. තාත්තා අහනවා මොකක්ද කියලා. පුතා ටිකක් නොරිස්සුමෙන් කියනවා ගේ කුරුල්ලෙක් කියලා. පියා නිහඬ වෙනවා. ආයෙත් ටිකකින් සද්දයක් එනවා. තාත්තා අහනවා ඒ මොකක්ද කියලා. කෝපයට පත් පුතා තාත්තට බනිනවා, මොකක්ද මේ විකාරේ? ඒ ගේ කුරුල්ලෙක්. දැන් මං කී සැරයක් කිව්වද? මට මේ පත්තරේ බලන්න දෙන්නේ නැද්ද? කියලා.

      තාත්ත හෙමිහිට ගෙට ගිහින් පරණ දින පොතක් ගේනවා. ගෙනල්ලා පුතාට කියනවා ඔය දිනපොතේ අහවල් පිටුව බලන්න කියලා. ඒ පිටුවේ තාත්තා ලියපු සටහනක් තියනවා මෙන්න මෙහෙම. අද මම බංකුවේ පුතත් එක්ක වාඩිවෙලා හිටියා. සැරින් සැරේ ගේ කුරුල්ලෝ එතන තියන පඳුරට ආවා. පුතා මගෙන් 21 වාරයක් ඇහුවා ඒ මොන කුරුල්ලද කියලා. ඒ හැම වාරයකදීම මම ආදරෙන් කිව්වා ඒ ගේ කුරුල්ලෙක් කියලා. පුතා එයින් ගොඩක් සතුටුවුණා.

      ඔන්න පුතාට පිය සෙනෙහස කියන එක තේරෙන්න පටන්ගත්තා. පුතා පියාව වැළඳගෙන සමාව ඉල්ලුවා.

      Delete
    3. මෙන්න ඒ කතාවේ වීඩියෝව

      https://www.youtube.com/watch?v=vDVawKB1FwY

      Delete
    4. කියෙව්වා, වීඩියො එකත් බැලුවා. හරිම සංවේදීයි. බොහොම ස්තූතියි කථාව ලියන්න කාල ගත්තට. ලොකු පාඩමක් කියාදෙන කථාවක්.

      Delete
  16. ස්තුතියි ඉයන් මා ගැනත් සඳහන් කලාට.

    ඉස්සර ඉඳන්ම අමුත්තෝ ළමයින්ගෙන් අහන ගොං ප්‍රශ්ණයක් තමයි ඔයා අම්මටද තාත්තටද වැඩි පුර ආදරේ කියන එක. ඕකට ළමයා දෙන්නටම ආදරෙයි වගේ උත්තරයක් දුන්නත් අර මිනිස්සුන්ට සතු‍ටු නෑ.

    ඒ වගේම මව් ගුණ තරම් පිය ගුණ ගැන අහන්න නෑ. කොහොම හරි දැන් ඒකෙ තරමක වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා හිතෙනවා මේ වගේ ලිපිත් එක්ක බැලුවම.

    ReplyDelete
    Replies
    1. Dude බොහොම ස්තූතියි පැමිණියාට . ඔබේ ලිපියත් මාව මගේ ළමා කාළයට අරගෙන ගියා. මම හිතන්නෙ ඒ ගැන ලොකු වෙනසක් මාත කාළයේ වෙනවා කියන එක හරී. නැවතත් ස්තූතිය.

      Delete
  17. පිය සෙනෙහස අහස වගේ.. කුමනාකාරද කියල හරියටම ලියන්න කියන්න බැහැ .. එත් හැමවෙලේම අහස වගේ අපිට ඉහලින් නිහඬවම ඉන්න නිසා දැනෙන රැකවරණය බොහොමයි..සියලුම පියවරුන් දීර්ගායු වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අම්බලන්ගොඩ ඔබේ පැමිණීමට. ඇත්තටම ඒ සෙනෙහස දැනෙන්න පියෙක් වෙන්නම ඕන.

      Delete
  18. අපූරු පද රචනයක්, දර්ශන රුවන්ගේ පරිනත සංගීතය වගේම අජන්තා ගේ අව්යා ජ කටහඬින් ගීතය තවත් ආලෝකමත් වී තිබෙනවා . ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන්. බ්ලොග් අවකාශයේ ප්‍රසිද්ධ චරිතයක් මගේ බ්ලොග් එකට පැමිණීම ගෞරවයක්. ඔබගේ අගය කිරීම ගැන මගේ ප්‍රණාමය

      Delete
  19. සමාවෙන්න මෙතනට හරියටම හරි යන්නේ නැති වෙන්න පුළුවන්. මේක පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
    Replies
    1. මම ඔයාගෙ ඔය පෝස්ට් එක කළින් කියවලා තිබ්බා. ඇත්තටම මම උඩ ලියල තියෙන තුසිත් ගේ කථාවත් ඒ වගේ එකක්. අතදරුවෙකු කාළෙ වෙන බිරියක් හොයා ගත්ත 'පියෙක්'. ඔය රාගය කියන එක මිනිස්සු අමනුස්සයො කරනවා කියන එක සේයා ගෙ කථාව ඇතුළු ගොඩක් කථාවලින් පැහැදිලි වෙනවා. එහෙව් එකේ රාගය තමන්ගේම දරුවකු නොසළකා හරින්න තරමට බලපානවා කියන එක අහන්නත් දෙයක්ද? කොහොම වුනත් මනුස්සයෙක් ගත්තම තමන් මවක් හෝ පියෙක් වෙන අවස්ථාව විස්තර කරන්න ඉතා අමාරු ඉතාම සංවේදී අවස්ථාවක්. ඒක අත්දකින්නම ඕන. වෙනත් හේතු නිසා මගහැර ගියත්, අතහැර ගියත් 99% මිනිසුන් තමන්ගේ දරුවෙක් ගැන සංවේදීයි. ඒකියන්නේ 1% ඉන්නවානේ තමන්ගේම දරුවනුත් අඹුකමට ගන්න. ඉතාමත් ස්තූතියි ආවට සහ කමෙන්ට් කිරීම ගැන.

      Delete
  20. ලිපියත් දැනුනා... සින්දුවත් දැනුනා... ජයවේවා

    ReplyDelete
    Replies
    1. බණ්ඩා සොයුර බොහොම ස්තූතියි මේ ඉසව්වට පැමිණීම ගැන. ඔබ ගීතය රස වින්ඳ බව දැන ගැනීම ඉමහත් සතුටක්.

      Delete
  21. මගේ ලිපියත් උපුටා දැක්වුවාට ස්තුතියි ඉයන්. ඔබ මේ වගේ දක්ෂ නිර්මාණකරුවෙක් බව දැන ගන්න ලැබීම සතුටක් වගේම ආඩම්බරයක්. ඔබේ ගීත රචනා ඉතා හොඳ මට්ටමක තිබෙනවා. මෙතැන් සිට ඉඩක් ලැබුන හැටියේම මේ පැත්තේ එන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලක සිත. ඔබ ගීතය රස විඳීම ගැන ඉතාමත් සතුටුයි.

      Delete
  22. සමාවෙන්න ඉයන් මම මේකට එන්න පරක්කු වෙලා. පහුගිය කාලේ මම බ්ලොග් වලින් නිද්‍රාවකට පත් වෙලා හිටියේ. වෙන දේවල් දන්නේ නෑ. මම හිතන්නේ මුලින් හමු වෙලා පස්සේ කියවන අතලොස්සක් බ්ලොග් වලින් එකක් මේකත්. පිය සෙනෙහස ඇත්තටම නලින් කියනවා වගේ එලියට එන්නේ නෑ අම්මා ඉන්න පරිසරයක. ඒත් මට මේ භූමිකා දෙකම කරන්න වෙලා තියෙන නිසා මේකේ ගැඹුර හොඳටම දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. සුදීක බොහොම ස්තූතියි ආවට. එදා හමුවීම ගැනත් සතුටුයි. භූමිකා දෙකම කරන්න වෙලා තියෙනවා කියන එක තේරෙනවා. මමත් ඒදේ කළා මේ ලඟක් වෙනකම්ම. මවකට පියෙක් වත් පියෙකුට මවක් වත් 100% රිප්ලේස් කරන්න බැරි වුනත්, පියෙකුට කළ හැකි සහ කෙරෙන කොටස අතිවිශාලයි. ඔබට ධෛර්‍යය වැඩියෙන් ලැබේවා ඉතා හොඳින් ඒ කාර්ය කරන්නට.

      Delete
  23. මම දන්න අදුරන එවුන් හැමෝම මෙතනට ඇවිත් මම විතරයි පරක්කු

    ReplyDelete
    Replies
    1. ආවනේ බං කවදහරි. උඹ පෝස්ට් ඔක්කොම ටික කියවපු එක ගැන මට හරි සතුටුයි.

      Delete
  24. දුකම දුක හිතුණු පෝස්ට් එකක් ..මගෙ අප්පච්චිත් නැතිවෙලා දැන් අවුරුදු කීපයක්.. අප්පච්චි මාළඟ නැහැ කියලා මම හැබැයි හිතන්නෙ නැහැ... එහෙමවත් හිතා ගත්තේ නැතිනම් මට ජීවත් වෙන්නවත් හිතෙන එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් හංසමාලී තාත්තලා හැමදාම දූවරු ගැන හිතනවා. එක අතකින් තමන් ලඟ නැති විටක ඒගොල්ලන්ගෙ ආරක්ශාව ගැන කඳුලු ගැන තියෙන සංවේදී බව නිසා. ඒ නිසා තාත්තා මියගියත් ඔහුගෙ ආත්මය තවමත් ඔබ ගැන ඇහැ ගසා ගෙන ඉන්නව කියල මම හිතන්නේ

      Delete