Thursday, September 17, 2015

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු


නිදහස් සිතුවිලි බ්ලොග් එකේ රවි, චෙටන් භගට් ගේ 2 States - Story of My Marriage  පොත පරිවර්ථනය කරමින් ලියන  කථාවේ පන්ජාබි තරුණයෙකු සහ තමිල් බ්‍රහ්මින් තරුණියක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියවෙනවා. කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 


ඔන්න ඔය බැල්ම එහෙම වැඩ කරල සෙට්වෙන අයගේ සමහර විට එක්කෙනෙක් එක ආගමක අනික් කෙනා තව ආගමක. එහෙම නැත්නම් දෙන්න ජාති දෙකක. එහෙම නැත්නම් කුල දෙකක. තවත් වෙලාවක සමාජ තත්ත්ව දෙකක එහෙම නැත්නම් වයස් පරතර. ඒ ඔක්කොම හරිනම් කොහෙන් හරි යන දුර නෑදෑකමක් නිසා අප්සෙට් යනව. "ඒක කරන්නෙ කොහොමද"? "ඒ ළමයා අර නැන්දගෙ එහා ගෙදර ඉන්න එකාගෙ මාමගේ යාළුවෙක්ගෙ නංගිගෙ දුවෙක් වෙනවනෙ,  ඒ කියන්නෙ නෑදෑ කමට උඹට ආච්චි වෙනව" වගේ තර්ක. 

සමහර අයට ඒගොල්ලන් පතාගෙන ආපු කෙනා එහෙම නැත්නම් ආත්ම සගයා (Soulmate) හම්බුවෙන්නෙ බැඳල දරුමල්ලො ඉන්නකොට. එතකොට තමයි කේස්. ලංකාවේ වගේ සමාජයක ඒවට තමන්ට ගැලපෙන උත්තර හොයන්න බැහැනෙ. අනික ළමයි අනාථ වෙනව නෑයින් යාළුවන්ගෙන් ගෙන් ප්‍රශ්ණ ඇතිවෙනවා වගේ හේතු නිසා ඔන්න ඔහේ ශේප් එකේ ඉන්න වෙනවා.

ඉතින් ඔය බ්‍රහ්මයා කියන කෙනා ඔවගේ අංජබබල් කේස් එකක් සෙට් කරලා මිනිහා පොඩි ආතල් එකක් ගන්නව ඇති. ඔවට අහුවෙච්ච අය ඉතින්  පොත් ලියලා, කවි ලියලා, සිංදු ලියලා, සිංදු කියලා, ලිඳේ පැනල, වස බීලා ආදී වශයෙන් විවිධ කලාත්මක සහ මෝඩ වැඩ කෝටියක් කරල තමයි ඉවර කරන්නේ. 

ආදරය කරපු අය දන්නවා අර ආදර සම්භන්දතාවලට උදලු දාන අය ඒ කියන්නේ දෙමව්පියො, නෑදෑයෝ වගේ අය ඔය එක එක වෙනස්කම් ගැන අදින්න පටන් ගත්තම මොන තරම් චාටර් එකක් කන්න වෙනවද කියල. තමන් තරුණ කාළයේදී එක එක වෙනස්කම් වල තියෙන අනර්ථය ගැන වැඩිහිටියො එක්ක හැප්පිලා දිනලා එක් උන අයත් පැරදිලා එක් වෙන්න බැරු වුන අයත් ඒගොල්ලොන්ගෙ දරුවො ඒ වගේ තත්ත්වයට පත් වුනාම ගොඩක් වෙලාවට් ක්‍රියා කරන්නේ අර දෙමව්පියෝ ක්‍රියා කරපු විදිහටමයි. ඒක මගෙ අත්දැකීමක්. ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ.  ඒකනිසා අපිට දරුවන් ඉන්නවා නම් සහ ඒ දරුවෝ මේවගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් විවෘත මණසකින් බලන්න උත්සාහ කරමු. 

මම මේ ගීතය ලිව්වෙ ඒ වගේ වෙනස් කම් නිසා එකතුවෙන්න බැරි දෙන්නෙක් ගැන. මේක සත්‍ය සිද්ධියක්. ඒ දෙදෙනාට එක් වෙන්න ලැබුණේ නැහැ. ඒ උනාට ඔවුන් අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.  

මේ ගීතයේ 'අකාලික' කියල වචනයක් තියෙනවා. ඒක අකාලිකව කියල වෙනස් වෙන්න ඕන. මේ වචනයෙන් අදහස් කළේ 'සුදුසු කාළයකදී නොව' කියන තේරුමයි. ඒ වැරදීමට හිත යොමු නොකර විශාරද නවරත්න ගමගේ සංගීතය සැපයූ සහ එතුමාම ගායන කල ගීත අතලොස්සෙන් එකක් වෙන මේ ගීතය ඔබටත් නැතිවුන ප්‍රේමයක් තිබුණනම් ඒක සිහිවෙන්නත් එක්ක රස විඳින්න.

නලීන් ඩිල්රුක්ශ කියා තිබුණ විදිහට ගීතයේ පද මාලාව ඇතුලත් කළා. 


දෙනෙතින්  ලංවී ……. හදවත් එක්වී …… ඔබමා…..
කඳුලින් මුමුනා.....මාහා….
අකාලික(ව) වූ හමුවීමක්
හදවත පිබිදුණ හමුවීමක්//

කඳුලින් හිනැහෙන
මුවින් නොදොඩනා
සුසුමින් සිපගත් එක්වීමක්
සම්මතයේ නැති එක්වීමක්
දෝ…………….

දෙනෙතින් නොදකින
කයින් නොබැඳෙනා
කඳුලින් හිනැහෙන ආදරයක්
සිතිවිල්ලෙන් බැඳි ආදරයක්
ආදරයක්/

සම්මතයේ නැති ආදරයක්
සුසුමින් සිපගත් එක්වීමක්
සම්මතයේ නැති, කවුරුත් දන්නැති
කඳුලින් සිපගත් ආදරයක්
සිතිවිල්ලෙන් බැඳි ආදරයක්
ආදරයක්/

සංගීතය සහ ගායනය - විශාරද නවරත්න ගමගේ



19 comments:

  1. ඉයන් ආදරය ගැන මා දරන්නේ වෙනස්ම මතයක්. ඒ මගේ පුද්ගලික තිරණයක්. ඔබේ පබැඳම මගේ අදහසට ඉදුරා වෙනස් වුවත් නිර්මාණ කරුවෙකු ලෙස ඔබ ඉතාමත්ම සාර්ථක ගේය පද රචකයකු බව පෙන්වා තිබෙනවා. මේ ගිතයේ පද මාලාවත් මේ ලිපියත් එක්කම දැම්මා නම් වඩාත් හොදයි කියල හිතෙනවා.
    අසා විමර්ශනයට වඩා කියවා විමර්ශනය තුළින් වඩාත් අර්ථ රසය ගන්න හැකියි. ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන්. ගී පද ටික ඉක්මනට දමන්නම්. ආදරය ගැන ඔබේ අදහස වෙනස් කිව්ව එක ගැන දැනගන්න ආසයි. ලියපු එකක් තියෙනවනම් ලින්ක් එක දෙන්න.

      Delete
  2. කවදාවත් දැක නොතිබුණු ගැහැණු ළමයෙකු, විශ්වාස කරන්නට ත් බැරි ලෙස මුණ ගැසී, ඊටත් වඩා ඒ ගෑණු ළමයා කැමති වී, එම ලමයාවම කසාද බැඳ ගත් පුදුමාකාර ආදර කතාවක් අයිති නරපනුවෙකු වන මා මහා බ්‍රහ්මයා යනු එළකිරි කොල්ලෙක් බව එකෙන්ම විස්වාස කරමි...... සින්දුව අහන්නන්

    ReplyDelete
    Replies
    1. මචන් මෙහෙමයි ඔය මහ බ්‍රහ්මයත් අපි වගේ ඇනුවල් ලීව් හරි සික් ලීව් හරි යන දවස් තියෙනවා. ඒ දවස් වලට වැඩ බලන මෑන්ස් ඒ දවස් වල සෙට් කරන කේස් අර වගේ අවුල් නැතිලු. ඇත්තටම කිව්වොත් උඹ වාසනාවන්තයෙක්. ඒ උනාට වැරදිච්ච නැතිවෙච්ච ලව් කේස් වලත් තියෙන විරහවෙත් මිහිරක් තියෙනවා කියල උඹත් පිළිගන්නව ඇති. උඹෙ කථාව ලියා තිබේ නම් ලින්ක් එක දාපන්.

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි උපේක්ෂා මගේ පොඩි බ්ලොග් එකට ආවට සහ කමෙන්ට් කළාට. ලොකු සතුටක්. අනික් පෝස්ට් එකේ කමෙන්ට් එකත් කියෙව්වා.

      Delete
    2. පොඩි? හොඳ පොඩි... අලියෙක් නේද රන් එක දෙන්නේ? පොඩි ලු... හුහ්...

      Delete
    3. බ්ලොග් එක තමයි පොඩි, මට නම් ඉතින් අලියෙක් කෙසේ වෙතත් පුත්තලම් බූරුවෝ දෙතුන් දෙනෙක්ගෙ වයස. :)

      Delete
  4. අපූරු පද රචනයක් ඉයන්...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවි ඔබේ පැමිණීම ගැන. අගය කිරීම ගැනත් පින්

      Delete
  5. ...// ඔබටත් නැතිවුන ප්‍රේමයක් තිබුණනම් ඒක සිහිවෙන්නත්//...
    බැදලා දරැ මල්ලොත් ඉදිද්දි නැතිවුන එක තවම මතක් වෙන එකනේ වැඩෙ කියන්නේ.දැන් කෙනා ලැබුනෙත් ආදරය කරලා.අපේ පුදුම බැදීමක් සෙහෙසක් තියෙන්නේ.සිංදුවෙ මෙන්න මෙ පද ටිකෙන් නිකමි මම ගැනත් කියවෙනවා වගේ.

    දෙනෙතින් නොදකින
    කයින් නොබැඳෙනා
    කඳුලින් හිනැහෙන ආදරයක් (මෙක ඒ දවස් වල තිබුනා දැන් නැ)
    සිතිවිල්ලෙන් බැඳි ආදරයක්
    ආදරයක්

    කියන්න තියෙන්නේ ඉතා දක්ෂ පබැදුමක් කියලා.ඊ ලග වටයට තෝරගන්නවා.ලකුනු 10/10

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ. කොළ කැබැල්ලක තබන අත්සනකින් ආත්මික බැඳීම් නවත්වන්න බැහැනෙ.

      Delete
  6. මේ සින්දුව මම අදමයි ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි ආවට. සිංදුව ප්‍රසිද්ධ එකක් නෙමෙයි.

      Delete
  7. මහාබ්‍රහ්මයාගෙ සීන් එකනං සිරාම කතාව ඈ....... ඒ වගේම ලස්සන අර්ථවත් පදමාලාවක්............ ඔබට ජය...!

    ReplyDelete
    Replies
    1. අවංක ආර්යන් ඔබ මෙහි පැමිණීම ලොකු ගෞරවයක්. ඒවගේම ඔබගේ අගය කිරීමත් ලොකු පිටුවහලක්. බොහොමත්ම ස්තූතියි

      Delete
  8. ඉයන් මටත් මේ සින්දුව බොහොම දැනුනු එකක්. කලින් අහලා නෑ. අදමයි ඇහුවෙ. නියමහි ඉයන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන්. ඔබ සිංදුවට ආසා බව දැනගන්න ලැබීම සතුටුයි. ආවාටත් අගය කිරීමටත් ස්තූතියි.

      Delete
  9. දවසක මේ සිංදු ටික උඔගෙන් ඉල්ල ගන්න ඔනේ..

    ReplyDelete